Thursday, December 14, 2023

රහස් කියන කඳු - 2023

 

 

Gin & Tonic YouTube ​චැනල් එකේ ‘රහස් කියන කඳු’ ගැන තිබ්බ දීර්ඝ සංවාදයෙන් පස්සෙත් තව කතා කරන්න දෙවල් ගොඩක් ඉතුරුයි කියලා දැනුන නිසා තමයි මේක ලියන්න හිතුනේ. පොඩි audience එකක​ට යන්න තිබ්බ චිත්‍රපටියක් ‘කොඩි ගහ යට’ නිසා ලැබුනු free marketing campaign එක නිසා​ම විශාල ​ audience ​එකක​ට විවෘත වුනා. සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයට දුරස්​ථ යැයි සැලකෙ​න සිනමා ආකෘතියක් තිබ්බත් කොඩි ගහ යට එක්ක හිටපු ප්‍රේක්ෂ​ක පිරිසෙන් රහස් කියන කඳු නඟින සැලකිය යුතු පිරිසක් අපිට දකින්නට ලැබුනා. ඕලාරික, චාටර් රජ-දේව කතා බල බල ඉන්න audience එකට මෙහෙම ෆිල්ම්ස් ලංකාවේ හැදෙනවා සහ හදන්න පුලුවන් නේ කියන ත්‍රිල් එක ඒකෙන් ලැබුනා. 

 



රහස් කියන කඳු ගැන දේශපාලනික කියවීම් ගොඩක් දැන් දැන් පත්තු වෙන නිසා මට ඒ දේශපාලනික කතාවම කතා කරන්න ඕන කමක් නෑ. කොහොමත් ම​ට ඒ දේශපාලනික කතාව ‘එච්චර’ සෙට් වෙන්නේ නැතිකමකුත් තියනවා. ඒ දේශපාලනික ‘කෑල්ල’ පැත්තකින් තිබ්බම මට ලැබුනු ත්‍රිල් එක තමයි මං මේ කියන්න යන්නේ. ඒ වගේම Acting, Cinematography, Editing, Production design ​ගැනත් ඕනි තරම් කතා වෙන නිසා ආයෙත් එ් ගැනත් කතා නොකර ඉන්නම්.

 

නවකතාවක කතන්දරය කියන්​න ‘අකුරු’ කියන tool එක use කරනවා වගේ, ෆිල්ම් එකක කතාව කිය​න tool එක වෙන්නේ, ‘Visuals සහ Sounds’. හැබැයි මං මේ කතාව කියලා අදහස් කරන්නේ ‘අපි කතාබහ කර​න භාෂාවෙන්’ කියන්න පුළුවන් කතාව නෙවෙයි. Visuals සහ Sounds පාවිච්චි කරලා පැය එක හමාරක් තිස්සේ අපිව අරං යන trip එක ගැන. ශ්‍රී ලංකාවේ හැදෙන ගොඩක් ෆිල්ම්ස් ‘අපි කතාබහ කර​න භාෂාවෙන්’ කියන්න පුළුවන්. ඉතිං එහෙම කියන්​න පුළුවන් නම් එච්චර වියදම් කරලා ඇයි ​ඒ ෆිල්ම් එක ​හදන්​නේ? ‘අපි කතාබහ කර​න භාෂාවෙන්’ ඒ​ක කියලා දාන්න තිබ්බා. 

 

ඒ වගේම අපේ සමහර ෆිල්ම්ස් තිබ්බා film language එකක් විදියට ගොඩක් rich. ඉතිං ඒවා සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයෙන් ඉබේම ඈත් වුනා. ගොඩක් වෙලාවට ‘සම්භව්‍ය’ කියලා ලේබල් එක වැදුනේ අන්න ඒ ​ෆිල්ම් සෙට් එකට. 

 

ඒත් රහස් කියන ​කඳු සුවිශේෂී වෙන්නේ මෙන්න මේ rich film language එක හරියටම පාවිච්චි කරලා cinematically කතාවක් කියන්න පුළුවන් වෙච්ච එකට. ඒ ව​ගේම ඒක සාමාන්‍ය audience එකටත් දැනෙ​න විදියට ඒක manage කරලා තිබ්බා.

 

රහස් කියන කඳු plot එක අපි අහලා තියන, කියවලා, බලලා තියන දන්න කතාවක්. හැබැයි ඒ දන්න කතාව කො​හොමද ​fresh විදියට ආයේ screen එකට ගේන්නේ? අන්න ඒ freshness එක හරියටම manipulate ​කරන එ​ක තමයි රහස් කියන කඳුවල ප්‍රධානතම විශේෂත්වය. ඒක ජගත් සහ නාමල් අලුත් ලෙඩක් හරහා ඒ කතාව build කරනවා. මේ ෆිල්ම් එක ලියන කාලේ වෙද්දි කොවිඩ් ඇවිත් තිබ්බද කියලා මම දන්නේ නෑ. හැබැයි ඊට කලින් ලියලා තිබ්බ නම් වගේ​ම, කොවිඩ් අමතක වෙමින් යන කාලේ ෆිල්ම් එක එළියට දාගන්න පුළුවන් වෙන එක මරු.

 

​ඒ වගේම ‘අපි දන්න කතාවේ’ අපි වැඩිය හිතන්නේ නැති perspective එකක් තමයි පොලීසිය හෝ හමුදාව පැත්​තේ හෙවත් මර්ධකය​ගේ කතා​ව. ඒ ගොල්ලොත් අපි වගේම කන බොන, කුණුහර්ප කියාගන්න, ලෙඩදුක් තියන සාමාන්‍ය පිරිසක්. හැබැයි ඒ සාමාන්‍ය පිරිස, ඒ වගේ​ම තවත් සාමාන්‍ය පිරිසක් ඝාතනය කරන, වධහිංසා පමුණුවමින් ඉතාම සුලු වේතනයක් වෙනුවෙන් මර්ධක රැකියාව කරනවා. 

 

බැලූ බැල්මට අපිට පේන මේ ප්‍රධාන කතාවට සාමාන්තරව තවත් කතන්දර තුනක් යනවා. (අම්මා, තාත්තා සහ ආගම) ඒ sub plots තුන තනි තනි කතා විදියට ගමන් කරන අතරේ main plot ​එකට ​සියුම් සම්බන්ධයක් ඇති වෙනවා. ​Cinematic story එකක් විදියට ඒක balance වෙනවා. (ඒක අර මං කලින් කිව්වා වගේ ‘කතා කරන භාෂාවෙන්’ පැහැදිලි කරන්න බෑ. ඒක කියන්න පුළුවන් Visual ​සහ Sounds ​වලින් විතරයි.) ඒත් මෙච්චර smoothly manipulate ​​වෙන කතාවේ ගණිකාවකගේ චරිතය place ​​වෙ​න්නේ ‘තරමක්’ අභ්‍යව්‍ය විදියට. එක්කෝ ඒක තව extreme absurd විදියට හෝ main flow එකේ තිබ්බ smoothness ​එකට ගන්න තිබ්බා. 

 

ඒ වගේම අවසානයේ එන plot twist එක; මේ වගේ කතාවක තියෙන්න පුළුවන් කියලා හිතෙන්නේ නැති තරම් වෙනස් සහ interesting. ඒ වගේම ෆිල්ම් එ​ක අවසාන වෙද්දි gates ගොඩක් ඇරලා තමයි ෆිල්ම් එක ඉවර වෙන්නේ. මං මේ ලියන්නේ එහෙම ඒක ගේට්ටුවකින් ගිහින් මම නැග්ග කන්දක රහසක්.

 

ශ්‍රී ලංකාව කිව්වම අපිට හිතෙනවා සුන්දර දිවයිනක් කියලා. ඒත් බාහිරින් පේන සුන්දරත්ව​ය ඇතුළේ සැඟවිලා තියනවා නොසිතන තරම් පීඩනයක්. අපි ට්‍රිප් යන, photos ගන්න, selfies ​ගන්න සුන්දර පසුබිම්ව​ල තියන රහස් අපිට, රහස් කියන කඳුවලින් එළියට එනවා. ඒක හරියට තව දුරටත් මේ සුන්දරත්වය විඳින්න පුළුවන්ද වගේ තැනක අපිව අතරමං කරනවා. 

 

මේ මෙහෙයුම සිදුකරන්නේ ස​හ තරුණ මළ සිරුරු තියෙන්නේ බාගෙට හදලා අතැරලා දාපූ, ගරාවැටුනු ගොඩනැඟිල්ලක. ඒකත් හරියට දැන් ලංකාව සහ අපේ තරුණ පරම්පරාව ඉන්න විදිය වගේ. එ් වගේම මර්ධකයත් ඒ කාලේ ඇතුළේ ජීවත් වෙන්නේ ඒ පරිසරය තුළමයි. වෙනස තාම මැරිලා නැති එක විතරයි. 

 

රහස් කියන කඳු ෆිල්ම් එකේ ගොඩක් රහස් කියන්​​නේ Metaphors ​වලින්. ඒත් ඒ Metaphorical රහස් අ​තරින් වඩාත් ප්‍රභලම එක සැටලිම. ඒක කොච්චර deep ද කියනව නම් මට වෙලාවකට හිතෙනවා ‘පොඩි හාමුදුරුවෝ, ලොකු හාමුදුරුවෝ සහ සැටලිම’ අතර කතාව තමයි main plot ​එක; ඝාතකයන් සහ ඝාතනයන් අතර තියන කතාව ​sub plot ​එකක් කියලා. 

 

සාමාන්‍යයෙන් අපි සැටලිමක් පාවිච්චි කරන්නේ ස්ථිර ස්ලැබ් එකක් දාන්න, තාවකාලිකව ස​පෝර්ට් එකක් විදියට. ඉතිං ඒ ස්ලැබ් එක සවිමත් වුනාම සති කිහිපයකින් ඒ සැටලිම ගලවලා අයින් කරනවා. ඉතිං ඒ සැටලි​ම හරියට වේතනයක් දීලා ගන්න පොලිස් හෝ හමුදා භටයා වගේ. පාලකයාගේ වුවමනාව ඉවර වුනාම ඒ භටයා, සැටලිම වගේ පැත්තකට යනවා. පාලකයා කියන ස්ලැබ් එක කාලයක් පවතිනවා. ඒ වගේම කාලෙකින් ඒ භටයා තවත් ස්ලැබ් එකක් දාන්න යූස් වෙනවා. ​එයාට ඒකට පොඩි වේතනයක් ස​හ තාවකාලික සිවිල් බලයක් ලැබෙනවා. අර උණ බම්බුවල​ට වගේ. ඒ වගේම ස්ලැබ් එක දාන එකට කරදරයක් වෙ​න උණ බම්බුවක් දෙකක් අයින් කරා කියලා සැටලිමට හානියක් වෙන්නෙත් නෑ. අලුත් බම්බු ඕන තරම් තියනවා replace ​කරන්න. ඒ තමයි ​පේන සැටලිම් කතාව. 

 

 

ඒ වගේම පොඩි හාමුදුරුවන්ට ඕන ඒ සැටලිම ආයෙත් කොහේටහරි විකුණන්න. ඒත් කතාවේ අන්තිම​ට ලොකු හාමුදුරුවෝ ඒ සැටලිම ගිනි තියනවා. ඒ අතරේ ලොකු හාමුදුරුවෝ ‘නිර්වාණ රාජ්‍ය’ වගේ ටිකක් odd dialogues ටිකක් කියනවා. හැබැයි ඒ dialogues ටික අමතක කරත් අන්තිමට දැනෙන feel එක වඩාත් ප්‍රභලයි. මොකද ලොකු හාමුදුරුවෝ dialogues වලින් කියන්න හදන දහම් කරුණට වඩා සැටලිම ගිනි තියන එකෙන් මට වෙන දෙයක් දැනුනා. එ්ක හරියට හයිකු කවියක් වගේ.

 

නිර්වාණය කියන ස්ලැබ් එක දාගන්න, ධර්මය (සහ චීවරය) කියන්නේ සැටලිමක් විතරයි කියන එක​.

 

ඒ වගේම විප්ලවය කරලා අපි හදන්​න යන්නේ තවත් කාගේ හරි ස්ලැබ් එකක් ද? අරගලකරුවන් කියන්​නේ විප්ලවය නම් වූ ස්ලැබ් එකේ උණ බම්බු ද? 

 

මං තාමත් ඒ රහස හොයාගෙන කන්ද නඟි​න ගමන්.

 

-       රිඳු ජයරත්න.

 

 

 

 

 

Saturday, July 23, 2022

Pad Man - 2018

 


ලංකාව මේ දවස්වල ගත කරන්නේ අසීරු කාලයක්. ඒ දූෂිත පාලකයන් නිසා. ඉතිං ඒ නිසාම මිනිස්සු එළියට බැස්සා. මිනිස්සුම ඡන්දේ දීලා පත්කරපු ඒ පාලකයෝ එලවන්න්න මිනිසුන්ටම සිදු වුනා. ඒත් ප්‍රධාන පුද්ගලමය සාධකයක් ඉවත් වුනත් මිනිස්සු ඉල්ලපු ඒ පාලන වෙනස මං මේක ලියද්දි පවා සිදු වෙලා නෑ. ඒ වෙනුවට ඒ ඒ පාලකයන්ට බේරෙන්න පුළුවන් වෙන විදියේ වෙනස්කම්, ඔලුමාරු වීම් සිදුකරමින් ඉන්නවා. 

ඇත්තටම ඇයි අපිට මෙහෙම වුණේ?

පළවෙනි දේ තමයි 'GotaGoHome' අරගලය ඇත්තටම පීඩිතම මිනිසුන්ට වඩා ට්‍රෙන්ඩ් එකට ගියපු තවත් රැල්ලක් වීම. සමහර රැලි තියනවා හොඳ ඒවා. මේකත් ටිකක් එහෙම එකක්. ඒත් ඒක නීඩ් එකකට වඩා රැල්ලක් වීම තමයි අවුල. එතකොට අරගලයේ දරාගැනීහ වගේ දේවල් කෙලවර වෙන සීමාව තියෙන්නේ ගොඩක් සාමාන්‍ය තැනක. හැබැයි පීඩිතමය තත්වයකින් අරගලයක් දියත් වුනොත් තත්වය මීට වඩා වෙනස් වේවි. මීට වඩා වයලන්ට් වේවි.

ඉතිං මේ අරගලය විසින් ඉල්ලා සිටින දේශපාලනික ප්‍රතිසංස්කරණ ටික පාලකයන්ගෙන් පමණක් ලබාගන්න යාම තමයි අනෙක් ප්‍රධානම ප්‍රශ්නය වෙන්නේ. ඒ කියන්නේ මේ අරගලය විසින් ඉල්ලා සිටින දියුණු මිනිස් අයිතිවාසිකම් ටික දරාගන්න පුළුවන් ‘මහ ජනතාවක්‘ අපිට සිටිනවද යන්න. හොරු එලවන්න කියන්නේ, හොරකන් කරන්න චාන්ස් එකක් ලැබුනොත් නොකර ඉන්න මිනිස්සුද? තමන්ගේ ළඟම කෙනාට ලොකු පෝස්ට් එකක් අරං දෙන්න පුළුවන් නම් නොදී ඉන්න කෙනාද? සමාන මානව අයිතිවාසිකම් පිළිගන්න පුළුවන් කෙනාද? අන්න ඒ වගේ බේසික් දේවල් ටික ෆුල්ෆිල් කරගන්න පුළුවන් තත්වයක ඉන්න මහ ජනතාවක් ද අපි? වඩාත් දියුණු තින්කිං පැටන් එකක් තියන මහ ජනතාවක් බිහිවුනු දවසක අපිට පුළුවන්, දියුණු දේශපාලනික වෙනසක් ලබාගන්න. එතකන් අපිට ලැබෙන්නේ තාවකාලික ක්ලයිමැක්ස් විතරයි.

මං මේ මහ ජනතා ප්‍රශ්නය ගැන කිවුවේ මං ළඟදි බලපු ෆිල්ම් එකකට ප්‍රොලොග් එකක් විදියට. ෆිල්ම් එක පෑඩ්මෑන්. ටිකක් ෆේමස් වුණු ෆිල්ම් එකක්. ෆේමස්වන ෆිල්ම්ස් මට ටිකක් මිස් වෙනවා. මේකත් එහෙම මිස් වෙච්ච එකක්, ඒ නිසා මේ ළඟදි තමයි බැලුවේ. 

මං මේ ෆිල්ම් එකට කැමති, සිනමා ලැන්වේජ් එකවත්, ටෙක්නිකල් කෑලි නිසාවත් නෙවෙයි. මේකේ ප්ලොට් එකට. මේන් කැරැක්ටර් එකේ තියන කැරැක්ටර් කොලිටි එකට. මේක ටිකක් මෝටිවේශනල් මූවි එකකුත් වගේ. 

ලක්ෂ්මිකාන් කියන්නේ ඉන්දියාවේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්. එයා මැරි කරලා තියෙන්නේ ළඟදි. ඉතිං මෙයා වයිෆ්ට ආදරෙන් ඉන්න ප්‍රේමනීය හස්බන් කෙනෙක්. එයා වයිෆ් වෙනුවෙන් එක එක දේවල් කරලා වයිෆ්ගේ කම්ෆටබල් කරනවා. මේ අතරේ දවසක එයාගේ වයිෆ්ට පීරියඩ්ස් හැදෙනවා. වයිෆ් ගෙදර වෙනම පැත්තක ඒ දවස්ටික ගතකරනවා. ලක්ෂ්මිකාන් ළඟට එන්නේ නැතුව. ඉතිං ඒක මෙයාට අවුල්. ඒ වගේම වයිෆ් පෑඩ්ස් වෙනුවට යූස් කරන්නේ රෙදි කෑල්ලක්. ඉතිං මෙයාට තවත් අවුල්. 

ලක්ෂ්මිකාන් ෆාමසි එකට යනවා පෑඩ්ස් ගන්න. ෆාමසි එකේ අයත් හැසිරෙන්නේ ඒක පට්ට ඉල්ලීගල් වැඩක් වගේ. අනික ඒක ලොකු ගානක් වෙනවා. හැබැයි ලක්ෂ්මිකාන්ට පෑඩ් ගැන එහෙම මැජික් එකක් නෑ. එයා ඒක අරං සාමාන්‍ය විදියට වයිෆ්ට දෙනවා. ඒත් ඒකේ තියන ගාන නිසා වයිෆ් ඒක ගන්නේ නෑ.

ඉතිං මෙයාට ඕනි වෙනවා වයිෆ් වෙනුවෙන් මේකට වෙනත් ඕල්ටර්නේටිවු එකක් හදන්න. ඉතිං ඒ හදන ගමන තමයි සරලව පෑඩ් මෑන් කතාව. 

සාමාන්‍යයෙන් ලොකේ වෙනස් කරන, අමුතු දේවල් කරන, පට්ට පොරවල් වෙන අයගේ ජීවිතේ ක්ලෝසප් එකක් ගත්තොත් පොඩි ට්‍රැක් පැනපු ගතියක් තියනවා. ඒ කියන්නේ එයාට වටේ දේවල් ගැන තියන ෆෝකස් එක අඩුයි. වැඩේ ගැන විතරයි ෆෝකස් එක තියෙන්නේ. ඉතිං ඒ නිසාම මුල් කාලෙදි එයාට මල් වෙනුවට ගොඩක් ලැබෙන්න්නේ ගල්. ඒත් ඒ ගල්වලින් පාර හැදෙන්නේ එයා දන්නේවත් නැතුව. මෙයත් ඒ වගේ. ගල්ම තමයි. බලන් ඉන්න අපිටත් හිතෙන්නේ මොන මෝඩයෙක්ද මේ කියන එක!

ඒත් එයා එයාගේ ෆෝකස් එක වෙනස් කරන්නේ නෑ. වයිෆ් දාලා යනවා. ගමෙන් යන්න වෙනවා. පවුල නැති වෙනවා. ඒත් එයාගේ ගමන යන්න එයා යනවා. මෙන්න මේ ගමන ඇතුලෙන් එයා ඒ හැම එකටම විකල්ප හොයමින් එයාගේ ප්‍රොඩක්ට් එක සක්සස් කරගන්නවා. ඒ සාර්තකත්ව රහස අතහරින්නේ නැති එක සහ හැම දේටම විකල්ප හොයන එක. ඒත් මෙයා හරියටම ප්‍රොඩක්ට් එක හදාගනිද්දි ප්‍රොඩක්ට් එක විතරයි එයා ළඟ තියෙන්නේ. අනික් ඔක්කොම ගිහින්. 

ඇත්ත. අපේ ජීවිතෙත් එහෙම තමයි. සමහර ලොකු ගමන් යද්දි අපිට සමහර දේවල් මිස් වෙනවා. ඒ දෙකම බැලන්ස් කරන්න බැරි වෙනවා. මොකද බැලන්ස් කර කර හිටියනම් අර ලොකු ගමන යන්න බැරි වෙනවා. මේ නේචර් එක හැදෙන්නෙම එහෙම. ඒත් ඒ ලොකු ගමනේ, යම් සංදිස්තානයකින් පස්සේ අපිට අර බැලන්ස් එක ආයේ එනවා. මොකද ඒ ගමන කෙලවර වීම තුළ අපිට ආයෙත් ජීවිතය/ පවුල වගේ දේවල් ඕනි වෙනවා. නැත්නම් ජීවිතයේ අර්ථය, මේ මොහොත වගේ දාර්ශනික දේවල් හම්බ වෙනවා/ හොයනවා.  

ඒත් සාර්ථකත්වය නිසාම මිනිසුන්ට ගොඩක් දෙවල් ලැබෙනවා. නැතිවී ගිය අය ආයේ එනවා. මෝඩයෙක් විදියට දැකපු අය මෝඩයෙක් නෙවෙයි කියලා හිතනවා. මොකද මේ ලෝකේ විශ්වාස කරන්නේ එක ම එක දෙයයි. ඒ භෞතිකව සාර්ථක වීම. මොකද ඒක ලොකේ හැමෝටම පේන නිසා. ඉතිං ලක්ෂ්මිකාන් ඉංදියාවේ කවුරුවත් කරන්න හිතපු නැති වෙනසක් ඇති කරා. ඒ එයාව හරියට මාකට් කරන්න පුළුවන් මාකටර් කෙනෙක් ලැබුණු නිසා. ඒ පාරි. ලක්ෂ්මිකාන්ව කටුකොහොල් ඇරලා බ්‍රෂප් කරලා ගන්නේ එයා. ලක්ෂ්මිකාන් ලොකේට යද්දි එයාගේ ළඟින් ඉන්නේ පාරි.

ඒත් මේ ෆිල්ම් එකේ ටිකක් ලූස් වෙන්න‍ෙ ආයේ ලක්ෂ්මිකාන්ගේ පරන වයිෆ් එන තැනදි. ලක්ෂ්මිකාන් එයාගේ පරණ ආදරය වෙනුවෙන් ආයෙත් මුහුවෙන තැන. ලක්ෂ්මිකාන්ව ටිකක් සදාචාරාත්මක සීමාවේ තියලා තියන්න ඕනි නිසා එහෙම කරන්න ඇති. ඒත් එකෙන් ඒ් කැරැක්ටර් එකට පොඩි ෆේක් ගතියක් එනවා. සහ ඒකෙන් සාර්ථක අවසානයක් අරන් දෙන්න නිර්මාණකරුවන්ට ඕනි වුනා වෙන්නත් පුළුවන්. නැත්නම් ඇත්ත කෙනා එහෙම කර නිසා ඒකම මේකට ඇප්ලයි කරා වෙන්නත් පුළුවන්. 

කොහොමත් වුනත් ෆිල්ම් එකේ තව මරු තැනක් තියනවා. ඒ ලක්ෂ්මිකාන්ගේ ෆස්ට් කන්ෆරන්ස් එකේදි එයා කතා කරන විදිය. ඉංග්ලිෂ්වලට එයා හරි විිදියට ෆේස් කරලා ලැන්වේජ් කියන්නේ දෙයක් ප්‍රකාශ කරන මීඩියම් එකක් බව කියනවා. 

'You're thinking that I'm mad... but only mad people become famous.'

- තරිඳු ජයරත්න


Sunday, March 20, 2022

Badhaai Do - 2022



අවුරුදු ගානකින් මේ බ්ලොග් එක අප්ඩේට් කරන්නේ. දිග සටහන් ලියන්න සහ දිග සටහන් Screen එකක කියවන්න බැරි තරම් අපිව (මාව) කම්මැලි කරා මේ කොරෝනාව. මොකද මිනිසුන්ට වෙලාව තියන නිසා හැමතැනම තිබ්බේ දිග සටහන්. මිනිස්සු හෝ හෝ ගාලා ලිවුවා. ඒත් මගේ සොශල් මීඩියා ලිවීම කම්මැලි වුණා. කාලෙකට පස්සේ මගේ අළු ගසල දාලා, බ්ලොග් එකේ බැඳිච්ච මකුණු දැල් කඩලා ආයේ ලියන්න පටන් ගත්තා. 

LGBTQIA+  දැන් ටික ටික කතා බහකරන මාතෘකාවක් වෙලා. හැබැයි තාම ලංකාවේ ඒ ගැන ප්‍රසිද්දියේ ලොකුවට කතා කරන්නේ නැතත් ළඟදි පාර්ලිමේන්තුවේ රෝහිණී විජේරත්න LGBTQIA+ ප්‍රජාව ඉලක්ක කරගෙන සිදුවන හානිකර පරිවර්තන චිකිත්සා තහනම් කළයුතු බවට පෞද්ගලික මන්ත්‍රී යෝජනවක් ඉදිරිපත් කරා. ඒක ලංකාවේ පාර්ලිමේන්තුවේ ඒ ගැන ඉදිරිපත් වුනු පළවෙන අවස්ථාව. ඒක මේ මොහොතේ ලංකාවේ පාර්ලිමේන්තුව සහ ලංකාව දිහා බැලුවම සාධනීය ලක්ෂණයක්. 

මං විශ්වාස කරන දෙයක් තමයි යම් දෙයක් ගැන තියන මැජික් එක නැති කරන්න ඒ දේ ගැන මැජික් එකක් විදියට කතා කරන එක නවත්තන්න ඕනි කියන එක. උදාහරණයක් විදියට, LGBTQIA+ legalize කරන එක සහ ඒක මැජික් එකක් නෙවෙයි කියන එක සහ ඒ අයට සම තැන දෙන්න නම් ඒ දිහා පුදුමෙන් බලන එක නවත්තන්න ඕන. තවත් සරල කරොත් එහෙම කල්ට් එකක් තියනවා කියන එක පවා නොහිතා ඉන්න තරම් විවෘත වෙන්න ඕනි. එහෙම කියලා මං මේ ලියන එකත් පැරඩොක්ස් එකක්. ඒත් මට ඒක කියන්න/ලියන්න වෙනවා.

ඒක කරන්න පුළුවන් එක විදියක් තමයි ලංකාවේ යන මෙගා ටෙලිඩ්‍රාමාවල LGBTQIA+ අදාල සිදුවීම් ඇතුළත් කරන එක. හැබැයි ඒක ඒ අයට කරන හානියක් විදියට නෙවෙයි; ඒ ටෙලිය තුලින් ඒ සිදුවීම බාරගන්න විදියට. ඒක ගැන ටෙලියේ ඉන්න කාටවත් පුදුමයක් නොවෙන විදියට. ඒ ප්‍රජාවට බිංදු මාත්‍රයක හෝ හානියක් සිදුනොවෙන විදියට. තවත් විදියක් තමයි ඒ ගැන සරල සිංදු සමාජගත කරන එක. ඒක නෝමල් ආදර කතාවක් විදියට සමාජය අතර පැතිරෙන එක. අනෙක් ඉන්වෝල්මන්ට් එක තමයි සිනමාව. අන්න ඒ හේතුව නිසා මං අද මාතෘකාව විදියට, Badhaai Do - 2022 තෝරගත්තා. 

LGBTQIA+ ගැන අපි දකින (විශේෂයෙන් ආසියාතික රටවල්වල) සිනමාව ටිකක් අඳුරු පාටක් ගන්නවා. ඔවුන්ගේ ජීවිතේ අඳුරුම පැත්ත, කාංසාව, පීඩාව, සෙක්ස් විතරක් ඒකේ පේන්න තියනවා. ඒ ගැන තියන චිත්‍රපටි ළමා පරපුරට බලන්න අමාරු තරමටම කඨෝර බවකිනුත් පිරිලා. එතකොට වෙන්නේ ඒ කතා කරන්න ඕන මාතෘකාව තවත් සමාජයෙන් ඈතට තල්ලු වෙලා යන එක. තහනම් අඩවියකට ඇතුල් වෙන එක. හැබැයි ඒක සරල චිත්‍රපටියක් විදියට, පවුලේ සැමට එකට සිට බලන්න පුළුවන් (සෝමරත්ත දිසානායක මොඩ්ල් එකට) විදියට හදන්න පුළුවන් වුනා නම් ඒ කතාව බහුතරයක් අතර මැජික් එකක් නොවී ගෙනියන්න පුළුවන්. අම්මයි තාත්තයි ළමයිනුයි එකට බලලා ඒ ගැන කුතුහලය සංසිදෙන තැනකට හෙමින් හෙමින් යන්න පුළුවන්.  Badhaai Do කියන්නේ එහෙම එකක්. සිනමාත්මකව මාර චිත්‍රපටියක් නොවුනට ඒ අඳුරුවිදියට සැලකෙන කතාව ලයිට් දාලා, ලස්සන කරලා, රසවත් විදියට අපිට දෙනවා. පවුලේ සැමට අවුලක් නැතුව හවුලේ නරඹන්න පුළුවන් කරනවා. LGBTQIA+ එක ගැන පොඩිඋන් පවා පුලුල්ව බලන්න පුළුවන් ගානට ඔලුව හැරෙන්න පටන් ගන්නවා. 

මේකේ ඩිරෙක්ටර් හර්ෂාවර්දාන් කුල්කාර්නි (Harshavardhan Kulkarni) මේ මහා අඳුරු කතාව (සමාජේ) කියන්න හරිම බැලන්ස් ෆ්ලැට්ෆෝම් එකක් තෝරගන්නවා. ඒ කතාවේ Gay, lesbian දෙකම represent කරනවා. දෙන්නගෙම ප්‍රශ්නේ දෙන්නම විසඳගන්න ට්‍රයි කරනවා. ඉන්දියාව වගේ අතිශය සංස්කෘතිකමය බාධා තියන රටක Gay පොලිස් නිළධාරියෙක්ට බඳින්න කියලා ගෙදරින් බල කරනවා. ඒ වගේම lesbian ස්පෝට් ටීචර් කෙනෙක් ඉන්නවා. එයාටත් තියන ලොකුම ප්‍රශ්නේ ගෙදරින් බඳින්න බඳින්න කියලා කරන කරදරේ. ඉතිං දවසක් මෙන්න මේ දෙන්නා එකිනෙකාව අඳුන ගන්නවා. ඊට පස්සේ දෙන්නා ඇග්‍රිමන්ට් එකක් ගහනවා; ගෙදරින් බඳින කරදරේට විසඳුමක් විදියට දෙන්නා මැරි කරනවා. දෙන්නා එක ගෙදරම වෙන වෙනම ජීවත් වෙන්න පටන් ගන්නවා. එතනින් තමයි ෆිල්ම් එක දුවන්න පටන් ගන්නේ. දෙන්නගෙ ලිංගික ජීවිතේ වෙන වෙනම ශේප් එකේ යනවා. ඒ අතරේ පුරුදු විදියටම ගෙවල්වලින් ළමයි ගැන ප්‍රශ්නේ එනවා. එතකොට තමයි එයාලගේ මේ ප්‍රශ්නේ ආයෙත් මතු වෙන්නේ.

අපි දැකපු ගොඩක් LGBTQIA+ නිර්මාණ කෙළවර වෙන්නේ පරාජයකින්. ඛේදයකින්. මං හිතන්නේ සමාජය තුළ LGBTQIA+ ගැන පසුගාමී අදහසක් මතුවෙන්න ඒකත් ප්‍රධාන හේතුවක්. මං Badhaai Do එකට කැමති එක හේතුවක් මේ ඛේදනීය දුක්බර අවසානය වෙනුවට සතුටුදායි සාර්ථක අවසානයකින් අවසන් වෙන එක. ඒකෙන් අපිට මතක් කරනවා මේ ප්‍රජාවේ ජීවිතත්, විෂම ලිංගික ආදර කතාවක (සාම්ප්‍රදායික චිත්‍රපටියක) අවසානය වගේම සාර්ථක අවසානයකින් චිත්‍රපටිය අවසන් කරගත හැකි බව. හැමෝටම සතුටින් නැගිටලා හෝල් එකෙන් එළියට එන්න පුළුවන් බව. ටීවී එක ඕෆ් කරලා සිනාවෙන් යන්න පුළුවන් බව.

ඉතිං අවසානයේ මෙන්න මේ ඉන්නේ LGBTQIA+ කියලා වෙනස් ප්‍රජාවක් නෙවෙයි; අපිම තමයි කියලා සමාජට දැනෙන මොහොතක පාට පාට ලස්සන සමාජයක් බිහි වේවි. ඒකට අපි LGBTQIA+ කියලා වෙනසක් නැතුව ඒ ඉන්නේ අපිමයි කියලා හිතන්න පටන් ගමු. මට මේ අයිඩියා එක ලියන්න ඕනි නිසා LGBTQIA+ කියලා පාවිච්චි කරාට ඇත්තටම ඒ වෙනස් කරලා හඳුන්වාදීමත් මං කරපු වැරැද්දක්. ඒකට සොරි. 


- උත්පල ජයරත්න


Saturday, July 11, 2020

ඇවිලෙනසුලුයි (Inflammable) - 2020



‘සමනලී ෆොන්සේකා ඉන්න හින්දා හොඳ ෆිල්ම් එකක් කියලා හිතුවේ‘

MC Gold, mini theatre එකේ ඇවිලෙනසුලුයි ෆිල්ම් එක බලලා එන ගමන් ඇන්ටි කෙනෙක් එහෙම කිවුවා. ඒ කතාව මතක් කරේ දරේ. ඇවිලෙනසුලුයි, අවුලව ගන්න ඒක හොඳ තැනක්. ලංකාවේ කොහොමත් තරු සංකල්පය පීචං වෙච්ච රටක්. ඉතිං එහෙම තත්වයක් උඩ වුණත් තාමත් නලුවෙක්, නිලියක් ගැන විශ්වාස කරලා ෆිල්ම් බලන්න මිනිස්සු එන එක කර්මානත්යක් විදියට හොඳ ප්‍රවණතාවක්.

ඇයි ඉතිං එහෙනම් බැන බැන යන්නේ?

මං ඇවිලෙනසුලුයි මීට කලින් බැලුවේ Jaffna Cinema Festival එකේ. ඉතිං මේ ළඟදි බැලුවේ දෙවෙනි පාරට. බලලා ගියේ වෙස්පා එකට. විකල්ප කලාවක ආශ්වාදය විඳින ඇඩ්වටයිසිං සෙට් එකක් එක්ක වුණත් එතන හිටපු ගොඩක් අයට ෆිල්ම් එක ලූස් වගේ දැනිලා. කතාව ලිහාගන්න ඇරිස්ටෝටලියානු අවසානයක් නැතත් කෘතියකට අවශ්‍ය ‘අවසානයක්‘ කියන අවසානයක් ඒ හැමෝම වගේ බලාපොරොත්තු වුණා. අඩුම තරමේ open-ended එකක්. 

Search Results

Web result

ඇයි අපි හැමෝම කතාව තමන් ඇතුලේ නැතුව එළියේ දකින්න කැමති.

නීට්ෂේ කියනවා, තමන්ගේ වැරැද්දක් ගැන කරන පාපොච්චාරනයකින් පස්සේ ඒක තමන්ට මතක නැති වුණත් අහන් ඉන්න කෙනාට ඒක මතකයි කියලා. මේ වුණෙත් එහෙම දෙයක්. දැන් චින්තට පාපොච්චාරනේ මතක නැතුව ඇති. spectator එකට නම් එක මතක ඇති. ඒත් තේරෙන්න නැති එක තමයි ඒ අයට තියන අවුල.

අවුල, හවුලේ තව අවුල් කරගමු.

Drak Web series එක ඉවර වුණා. පැටලිලා පැටලිලා තිබ්බ කාතාව 3rd season එකේ යම්තාක් දුරකට විසඳනවා. නියමිත අවසානයක් අවුල් නොකර ගේනවා. හැබැයි ඇවිලෙනසුලුයි ඉවරවෙන්නේ එහෙම සැනසීමෙන් නැගිටලා යන්න පුළුවන් විදියට නෙවෙයි. තාම ඉවර වෙලා නැති කතාව එහෙමම තියනවා. facts අරං ඒවා එකින් එක විසඳගන්න එක ඇත්තටම තමන්ට පුළුවන් වගේ වුණත් ලිහන එකෙන් වෙන්නේ තවත් පැටෙලෙන එක. ඉතිං ලිහලා ලිහලා පටලගන්න එක අපිට බාර දෙයක්.

ටැරැන්ටිනෝට පිස්සුද?

ටැරැන්ටිනෝ ගැන කිව්වම එක පාරටම මතක් වෙන්නේ ළඟ ළඟ කපා කොටාගෙන වෙඩි තියා ගැනීම් ගානකින් පස්සේ ඔක්කොම මැරෙණ එක. සහ film treatment එක ටිකක් වෙනස්. characters build වෙන විදියේ ඉඳන් color grading, editing, sounds සහ cinematography දක්වාම ඒක ආවේණිකයි. උද්වේගකරයි. ටැරැන්ටිනොගේ අභාෂයෙන් ඇවිලෙනසුලුයි, ඇවිලුනත් story එක නවත්න්නේ ලීන්ච් ගාව.

අනේ මන්දා මේ ලීන්ච්!

ලීන්ච්ගේ ෆිල්ම්ස් කොහොමත් තේරෙන්නේ නෑ කියලා තමයි අපි දන්නේ. ඒ දන්නකම නිසාමයි අපි ලින්ච්ගේ ෆිල්ම් එච්චර ආසාවෙන් බලන්නේ. ‘අනේ මන්දා‘ මොකද මේ වුණේ කියලා හිත හිත ආයෙත් බලනවා. ඒක වෙනම ආතල් එකක්. ලීන්ච් ඇරිස්ටෝටලියානු විදියට කතාවක් කියලා කවදාවත් අපේ බලාපොරොත්තු කඩන්නේ නෑ. ලින්ච් ලින්ගේ ආතල් එක ගන්නවා. අපි ඒවා බලලා ලින්ච්ට වඩා අපි ආතල් එකක් ගන්නවා.

ආතල් කඩපු ආතල් එක

ඇවිලෙනසුලුයි ආකෘතියක් විදියට ටැරැන්ටිනො සහ ලින්ච් එකට අවුලලා තියනවා. ඉතිං ටැරැන්ටිනොගේ පිස්සුවයි, ලීන්ච්ගේ ‘අනේ මන්දා‘ කමයි එකට එකතු වුණාම කොහොමත් mass එකේ වගේම ජනප්‍රිය alternative එකෙත් ආතල් එක කැඩෙනවා. alternative එක කොහොමත් ඉන්නෙත් එකතරා frame එකක නිසා, ඒ frame එක කැඩුනම alternative එක, ඒක බාර ගන්න සූදානම් නෑ. ඉතිං මේ දෙකේම ආතල් කඩපු එකම තමයි ඇවිලෙනසුලුයි එකේ ඇවිලෙන ආතල් එක.

හම්බන්තොට ගෙනියන මරණය

ලංකාවේ වානිජ නගරය කොළඹ වුණාට දැන් දශක එක හමාරක වගේ ඉඳන් ලංකාවේ බලය කේනද්‍රගත වෙන්නේ හම්බන්තොට (දකුණ) වටා. සීග්‍ර දියුණවක් ළඟා කරගන්න හදපු හම්බන්තොට ආණ්ඩුමාරුවෙන් පස්සේ නැවතුනා. death city එකක් ළඟටම හම්බන්තොට පත් වුණා. ඒත් දැන් ආයෙත් වුණු බල පෙරලියත් සමඟ ඒ පැත්ත අළු ගසලා දාලා නැගිටියි. ඒ අමුතු මැරෙන-නොමැරෙන නගරයට තමයි මේ පිටිපස්සේ මරණයක් අරං ඉස්සරහා ආදරයක් තියං රතුපාට කාර් එක යන්නේ.

ඉස්සරහ මරණයක්. පිටිපස්සේ ආදරයක්.

ඇඩ්වටයිසිංවලම කරක් ගහපු නිසාමදෝ චින්තට දැන් වේගෙන් ලියන්න පුළුවන් ඇති. plot twist කරමින් වැඩේ ඇතුලේ හදාගන්න කතාවේ විනය මීට වඩා ටිකක් තිබ්බ නම් හොඳයි කියලා දැනුනත් මේ ආකෘති හරඹය ලංකාවේ අපිට ටිකක් වෙනස්. ධර්මසිරි ඒකාලේ කරපු ‘හංස විලක්‘ බලද්දි තාමත් අපිව හොල්මන් වෙනවා. ඇවිලෙනසුලුයි කාලෙකින් එහෙම ඇවිලෙන වැඩක් වෙයි. පිටිපස්සේ තිබ්බ මරණය, ආදරයක් වෙලා ඉස්සරහට එද්දී කොරෝනාවලට වහපු හෝල් ආයේ ඇරෙද්දි experimental සිනමාවක් ලංකාව අවුලවන්න ගත්තා. ඇවිලෙන්නේ චුට්ටක් වෙන්න ඇති. ඒත් අළුයට ඒවා හැංඟිලා තියෙවි. කාලෙත් එක්ක අවශ්‍ය අය අළු පිඹලා ඒවා මතු කරගනීවි. 

මැණිකේ මම ආයේ ගෙදර එනවා.

‘අවසානය කියන්නේ ආරම්භයක්. ආරම්භයක් කියන්නෙත් අවසානයක්.‘ Dark එකේ එක තැනක කියනවා එහෙම. 



- තරිඳු ජයරත්න.

Thursday, April 30, 2020

Snowpiercer - 2013


Snowpiercer ආයෙත් බැලුවා. පැරසයිට් නිසා මේ කාලේ තරුවක් වෙලා ඉන්න බොං ජූන් හෝ, 2003 කරපු ෆිල්ම් එකක්. බොං ජූන් හෝගේ සුපුරුදු වට්ටටෝරු කතා මාලාවම වුණත් බොං ජූන් ඒක ගේනව අලුත් ෆෝම් එකක. මෙටෆර්ස් ලිහලා බැලුවම ටිකක් පරණයි වුණාට ඔහු ඒකට කරන ට්‍රීට්මන්ට් එක නිසා ඒක සුන්දර තැනක තියනවා. 

ඔහුගේ් අලුත්ම ෆිල්ම් එක පැරසයිට්, කතා කරන තරම් ‘වාව්‘ එකක් නොවුණත් සිනමා භාෂාව සහ අඛ්‍යාණික හැසිරවීම් පැත්තෙන් ඒක විශිෂ්ට කෘතියක්. ෆෝම් එක්ක විදියට අධ්‍යනය කරන්න පුළුවන් වැඩක්. ස්මූත්ලි ප්ලොට් ට්විස්ට් ගන්නේ කොහොමද කියන එකටත් හොඳ උදාහරණයක් පැරසයිට්. හැබැයි අද මාතෘකාව පැරසයිට් නෙවේ. 

අද මාතෘකාව Snowpiercer. ඒ කාරණා දෙකක් උඩ. 

එක. අපි මේ මොහොත වෙද්දී මුහුණ දීලා ඉන්න කොවිඩ්-19 වයිරස් ප්‍රශ්ණය. අපි හැමෝම ඉන්නේ වසංගත වටපිටාවක. බයෙන්. ඇතුළක හිර වෙලා. මතුපිට අර්ථයෙන් අපිත් ඉන්නේ Snowpiercer කතාව වගේ එකක. 

දෙක. Snowpiercer ආකෘතිමය අතින් තරමක් වෙනස් එකක්. මට සාපේකෂව බොං ජූන් හෝගේ ක්ලයිමැක්ස් එක තියෙන්නේ Snowpiercer ගාව. මොකද බොන් ජූන් කියන්න ඕනි ඔක්කොම දේවල් ඒකේ කියලා ඉවර කරනවා. ඊට පස්සේ කරන හැම වැඩකම තියෙන්නේ පශ්චාත් සිනමා ප්‍රලාප. 

Snowpiercer බැලූ බැල්මටම තියෙන්නේ වට්ටෝරු පන්ති අරගලය ගැන කතාවක්. ඒත් ඒක ඩීකන්ස්ට්‍රක්ශන් කරාම අපට හම්බ වෙන්නේ ඊට වඩා ගැඹුරට යන පැවැත්ම ගැන යම් විසංවාදයක්. 

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා පිළියමක් විදියට හොයා ගන්නා CW-7 කියන සිසිලනකාරක රසායනික ද්‍රව්‍ය මඟින් පෘථිවියම අධික සීතලකරණයකට ලක්වෙලා අයිස්වලින් වැහිලා ගිහින්. ජීවීන් සියල්ල විනාශ වෙලා. ඒත් එක්තරා පිරිසක් වේගයෙන් යන දුම්රියක ඇතුළේ ජීවිතය ගැටගහ ගන්නවා. ඔවුන් අවුරුදු 17 කට පස්සේ ඔවුන්ගේ පැවැත්මේ යහපත් වෙනසක් වෙනුවෙන් දුම්රිය පාලක පන්තිය සමඟ ඇතිකරගැනීමට නියමිත අරගලයක් සමඟ Snowpiercer පටන් ගන්නවා. 

අපි මේ මොහොතේ මුහුණ දෙමින් සිටින කොවිඩ්-19 වසංගතය නිසා අපි හැමෝගෙම තිබ්බ සුඛෝපභෝගී, විනෝදකාමී ජීවිතය අගුලු වැටිලා. එදා වේල හම්බකරන් කාපූ ගොඩක් දෙනෙක් ආර්ථික වශයෙන් දරුණු ලෙස අර්බුධයකට පත් වෙලා. ඔවුන්ට කන්න බොන්න දෙයක් හොයා ගැනීමට පවා අසීරු තත්වයක් ඇති වෙලා. රජය යම් යම් ඊනියා සහන ව්‍යාපෘති සිදු කිරීමට වෙර දැරුවත් එය තරමක් ව්‍යාකූල තත්වයකයි පවතින්නේ. ළඟ එන මහ මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් ඒ මතින් ගොඩ ඒමට ලෑස්ති වෙනවා. මේ දුෂ්කරතාවයට පත් වෙලා ඉන්න ජනතාව වගේ පිරිසක් Snowpiercer දුම්රියේ අග කොටසේ ජීවත් වෙනවා. 

අපේ ජනතාවටත් (අපිටත්) රජය ලබා දෙන දේ කාලා, ඔවුන්ගේ බණ අහගෙන, ඔවුන්ගේ විධිවිධාන අනුව ජීවත් වෙන්න වෙලා. හැබැයි ඔවුන් (අපි) පෙලෙන මේ පීඩන තත්වය පිපිරීමක් දක්වා හුවමාරු වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ. කොවිඩ්-19 ආසාධනය වුණොත් මිය යෑමට තියන සම්භාවිතාවයට වඩා, බඩගින්නේ හිටියම නිශ්චිතවම මිය යන නිසා ඔවුන් කුසගින්නට එරෙහිව කොරෝනා තෝරා ගැනීමට නියමිතයි. රජයක් විදියට අර්බුධය ඩබල් වෙන්නේ එතකොට. 

Snowpiercer අර්බුධය පටන් ගන්නෙත් කෑම සහ ඒකාකාරීත්වය නිසා. Snowpiercer පාලනය ඒකකය තුළින් මවා පෙන්නන වට පිටාව, මේ හැම දෙයක්ම කරන්නේ ඔබ වෙනුවෙන් කියන එක ඔවුන් අවුරුදු 17 ක් තිස්සේම කරනවා. නමුත් වසර 17 ක ඒකාකාරීත්වය එක් දිනක පිපිරී යනවා. නමුත් ඔවුන් තෝරගැනීමට නියමිත වෙනසත් (ඇකඩමික් විදියට ‘නිර්ධන පංති විප්ලය‘) ඔවුන්ට තාවකාලික යහපතක් උදාකර දෙන අතර එය කලකින්, නැවතත් පෙර තිබූ පාලක පන්තියේ කුරිරු හැඩවුරුව ගැනීමට නියමිත බව සිනමා පටය ඉඟි කරනවා. 

ඉතිං සමාජයක් විදියට අපිට සිද්ද වෙනවා, පන්තියෙන් පන්තියට වෙනස් වන බල අරගලය වෙනුවට වඩා යහපත් රැඩිකල් වෙනසක් යෝජනා කිරීමට. Snowpiercer එකේ කෝච්චිය විනාශ කරන් එළියට යනවා වගේ වැඩක්. එය ධනවාදයටත් සමාජවාදයටත් එහා ගිය දියුණු මිනිස්-සොබා නිදහසක් වෙනුවෙන් සිදුවීමට නියමිත අරගලයක් විය යුතුයි. කොවිඩ්-19 අපිට මේ කියන්නේ ඒ දියුණු මිනිස්-සොබා නිදහස වෙනුවෙන් සූදානම් වෙන්න කියන එකද?

-තරිඳු ජයරත්න


#Snowpiercer #BongJoonHo #ChrisEvans #SLReview #sinhalacinema #sinhalavichara #sinhalareview #tharinduJayarathna



Sunday, April 5, 2020

Human, Space, Time and Human - 2018


ලෝකාවසානය වගේ අපි හැමෝම භීතියෙන් වෙලිලා. කවුරුත් වගේ ගෙදරට කොටු වෙලා. එළියට යන්නේ මාස්ක් දාගෙන. ගම් පිටින් නීරෝධායනය කරනවා. මූවීස්වල දැකපු දේවල් අපේ ජීවිත කාලේ අපිට උදාවෙයි කියලා අපි කවුරුත් හිතුවේ නෑ. නොහිතන දේවල්ම සිද්ද වෙන ජීවිතේ එහෙම දෙයක් වෙන එක, එකඅතකින් පුදුමෙකුත් නෙවෙයි. ආයේ මිනිස්කම්වලට අර්ත හොයන ගමන්, සොබාදහමට ඕන විදියට ඉන්න ඉඩදීලා අපි පැත්තකට වෙලා. වේගවත් මිනිස් ක්‍රියාකාරකම් දැන් අඩුවෙලා. ලෝකය ආයෙත් එක්තරා තැනක ඉඳන් පටන් ගනීවි තව ටික කාලයකින්. ඒ තැන ගැන හරියටම කියන්න බැරිවුණත් මොකක් හෝ අලුත් ඇරඹුමක් වෙයි.

මේ දවස්වල අපි හැමෝම වගේ "අපි මොකක්ද මේ කරන්නෙ?" කියල හිතන්න පටන් අරං. නැත්නම් හිතෙන්න පටන් අරං. ගමන වෙනුවට නැවතීම ආවම ජිවීතේ කියන දේ ගැන හිතන්න හැමෝටම වගේ වෙලාවක් හම්බුනා. හැමෝගෙම ජීවිත අවිනිශ්චිතත් නිසා, ප්‍රශ්නය හැමෝගෙම වුනා. 

ලෝකයක අවසානය සහ ලෝකයක ඇරඹුම පෙන්නන සිනමාගාර පරීක්ෂනයක් විදියට කිම් කී දුක් 2018 දී HUMAN, SPACE, TIME & HUMAN කරනවා. "දෙයක්" ජීවියෙක් කරන්නේ "ආශාව". ජීවීන් ජීවත් කරවන්නේ මේ ආශාවන්. ඉතිං මේ ආශාව වෙනුවෙන් අපි යන ගමන ටිකක් සීමා කරා මේ කොරෝනා. ෆිල්ම් එකේ නම් ජීවීන් පිරුනු මුහුදේ ගියපු නැව නොදන්න අවකාශයක හිරවුනා. අපි වගේම. ආශාවන් වෙනුවෙන් ලුහුබැඳ ගිය බහුතරය නැති වුනා. ඒත් එක බලාපොරොත්තුවකින් ආයේ ලෝකයක් පටන් ගත්තා. ඒ ලෝකයත් ආයේ 'ආශාව' පස්සේ දුවන්න පටන් ගත්තා. ඒ වගේම අපිත් ඉක්මණින්ම දුවන්න පටන් ගනීවි. කොරෝනා කර දේ අමතක වේවී. ආශාව හැමෝගෙම හිත්වල අලුත් බලාපොරොත්තුවක් ගෙන දේවි.

Wednesday, September 4, 2019

සංසාරේ දඩයක්කාරයා - Leopard Do Not Bite (2015)



අතිධාවනකාරී පාරක් කෙලවරේ ගොඩනැඟිල්ලක උඩම තට්ටුවක, සීතලේ සැප පුටුවක, නෝට් පෑඩ් එක දිග ඇරගෙන වාඩි වුනා. පෙල නොකැඩි එකට එන වාහන කන්දරාවක්, ඇසිල්ලක ඉඩක් හොයමින් අස්සෙන් අස්සෙන් දාගෙන යනවා. ස්මාර්ට් ෆෝන් කන්පෙතිවල රඳවගෙන හැල්මේ දුවන මිනිස්සු, ඒ මේ අත. මම ලොකු හුස්මක් අරගෙන පාර සිසාරා බැලුවා. වේගය හැම තැනම.

තාම මේ කල්පනා කරන්නේ කොහොමද සංසාරේ දඩයක්කාරයව බෞතීස්ම කරන්නේ කියලා. සිතුවිලි එක තැනකට ළං කරද්දිම ඈතින් එන ලස්සන ගෑනු ළමයෙක් සිතුවිලි ටික කඩලා බිඳලා දානවා. සබන් පෙන වගේ බිඳිලා යනවා. ආයෙත් හැදෙනවා. ආයෙත් සංසාරේ දඩයක්කාරයාට ෆෝකස් වෙනවා. උගුරට එන ඕක්කාරයක දැවටිලා තියනවා දවල් කාපු මස් රහක්. කනකොට තිබ්බ රහ වෙනුවට දැන් තියෙන්නේ පිලී රහක්. හැමදේම දෙපැත්තක් (ද්විත්වයක්) විදියට අවට භ්‍රමණය වෙනවා. ද්විත්වයක් විදියට භ්‍රමනය වෙද්දිත් එහෙම භ්‍රමණය නොවී එක පැත්තටත් ගමන් කරනවා.

සයිමන් නවගත්තේගමගෙන් ෆිල්ම් එකක් කරන්නෙ කොහොමද කියලා මං ෆිල්ම්ස් කරන්න එන කාලේ ඉදන් කල්පනා කරපු දෙයක්. මට එහෙම පාරක් හම්බ උනේ නෑ. හිතුනත් ඒක ගොඩක් දුප්පත් තැනක තිබ්බේ. ඉතිං සංසාරේ දඩයක්කාරය බලන්න ගියෙත් පොඩි චකිතයකින්. ඒත් මේ අරුම පුදුම නවකතාකාරයගෙ අයිඩියෝලොජි එක වට්ට ගන්නේ නැතුව ප්‍රසන්න වැඩේ ගොඩ දාලා තිබ්බා ලෙසටම. විශුවල් මීඩියම් එකෙන් අරං යන සංකීර්ණ ට්‍රිප් එක මගේ දුප්පත් අකුරු-වචන වලින් පැහැදිලි කරන්න බෑ. ඒත් ඒ විශ්මය මොකක් හරි විදියකට එලියට දාගන්න ඔලුව වද දෙනව නොසෑහෙන්න. මේ ඒකට කරන අසාර්තක උත්සාහයක්!


මේ ඇතුල්වෙන්න හදන වංකගිරියේ අතරමං නොවී කොහොමද? අතරමං වෙන තරමට තමයි හරි පාර හම්බවෙන්නේ. එතකොට අතරමං වීම කියල එකක්වත් හරි පාර කියලා එකක් වත් නැති ගමනක් හම්බ වෙනවා. වංකගිරිය කියලා මෙතන අදහස් වෙන්නේ ෆිල්ම් එකද? ජීවිතයද? ෆිල්ම් එක කියල හම්බවෙන දේ තියෙන්නෙත් ජීවිතය තුලම නිසාත්, ජීවිතය කියලා මේ දැක්ක දේ හම්බවුනෙත් ෆිල්ම් එකේ නිසාත් දෙක දෙකක් ?නැත්නම් එකක්ද?

දඩයක්කාරයයි හාමුදුරුවොයි කියන්නේ, අපි මේ ගට්ඨනය වන දෙබිඩි සිතුවිලි එකතුව? එතකොට ගෝමරී කියන්නේ අපේ ආශාව කියන හඹායන සංකේතය? කියන්නේ ජීවියා කියන සාධකයේ පැවැත්මට සොබාදහම විසින් නිර්මානය කරපු සුන්දරම දේ; රාගය... සෙක්ස්? ආශාව දිහා ආශාවෙන් බැලීම සහ අශාවෙන් ඉටුකිරීමට ඇතිවන වසඟය මඟහැරීම අවබෝධය? නිවන? සැනසීම? ලිහෙනවා කියන්නේම තව තව පැටලැවෙන එකනම් මේක තමා හොදම ලිහීම... හොදම පටලැවීම. සෙක්ස් කියන්නේ ජීවිතය ඩ්‍රයිව් කරන හොදම දෙය. අපි මේ හැම තැනම හොයන්නේ, කරන්නේ ඒක.


'සියලු ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙලෙස් කියා හෝ ශුද්ධිය කියා හෝ  දෙයක් ඇත්තේ නැත.'
-ලංකාවතාර සූත්‍රය

එතකොට මෙහෙම ලියවීමක් තියෙන්න බෑ. ඒ කියන්නේ එහෙම තියෙන්න ෆිල්ම් එකක් තියෙන්නත් බෑ. දඩයක්කාරයෙක් ඉන්නත් බෑ. හාමුදුරුකෙනෙක් නෑ. ගෝමරියක් නෑ. ප්‍රසන්න නෑ. මේ ලියන මමත් නෑ. එතකොට මේක කියවන ඔබත් නෑ. එතකොට මොනවද මේ අපි කරන්නේ. මේ අවට තියෙන්නේ?  මේ කියවන්නේ?
නෑ.. ඇත්තටම මේක තියන නිසා.
මොකද මේ ලංකාවතාර සූත්‍රයට අනුව එහෙම සූත්‍රයක් තියෙන්නත් බෑ. එහෙම නෑ කියලා කියන මොහොතේම අපි එහෙම දෙයක් මොහොතකට කලින් කියවලා තියනවා.

එතකොට වෙනස් වෙලා තියෙන්නේ 'කාලය සහ අවකාශය'. මේ මොහොතින් මොහොත අලුත් වෙන සිතුවිලි, කැඩිලා බිඳිලා ආයේ හැදෙන සිතුවිලිවලින්, කාලය සහ අවකාශය කියලා දෙයක් අපි වටා නිර්මාණය කරනවා. ඒ නිසා අපට අපෙන් පිටස්තර සහ අප අභ්‍යන්තර ලොවක් හමුවෙනවා. ඒ වගේම කාලය සහ අවකාශය මඟින් අපි තුළ මෙහෙම කැඩිලා බිඳිලා යන්න සිතුවිලි කන්දරාවක් නිර්මාණය කරනවා. එතකොට අපිට මේ සිතුවිලි කියලා හම්බවෙන දේත් කාලය සහ අවකාශය විසින් නිර්මාණය කරපු දෙයක්.

 සයිමන් දඩයක්කාරයාගේ කතාවේ මෙහෙම කියනවා.

‘උඹ බොහොම ශ්‍රේෂ්ඨ දඩයක්කාරයෙක්. උඹ ඔය දැරිය උස්සාගෙන, වඩාගෙන යන්නේ කොහේද?’

දඩයක්කාරයා නැවතී බලා සිට, මෙසේ කතා කරනවා ඇසුණේය. එය දඩයක්කාරයාගේ කටහඬම විය. කරපින්නාගෙන සිටි, ඇගේ එක කනක් ළඟින් ම, ඔහුගේ කටහඬ පිටවුණි. ඒත් දඩයක්කාරයා වෙන දා කථා කළ භාෂාවෙන් නොව, අමුතුම භාෂාවකින්, ඇයට තේරුම් ගන්නට බැරි බරපතළ ස්වරවලින් කතා කළේය.  

‘මම ශ්‍රේෂඨ දඩයක්කාරයෙක් නොවෙමි. මගේ තුවක්කුවවත් මට ආරස්සා කර ගන්ඩ බැරි වුණා. මේ ඔසවාගෙන යන්නේ දැරියක් නොවේ. ඇඟේ ඉඟ මගේ මිටින් ගත හැකි තරමේ සිහින් දැරියක් බව ඇත්ත. ඒත් ඇය කාමයෙන් රත් වූ, රාගයෙන් පුෂ්ටිමත් මනුෂ්‍ය දුහිතෘකාවක්.’

‘ඕක තමා උඹේ කර්මය. උඹ මේ වනාන්තරයේ ශ්‍රේෂඨතම මනුෂ්‍යයා, තියුණු ම දෙකන ඇත්තේද, තීක්ෂණම දෑස ඇත්තේම, අති පවිත්‍ර වූ අන්තර්ඥානයටම ආරම්මණය වූ යෝගියෙකුගේ භාවනා නිමිත්තක් බඳු වූ, තියුණු ඉලක්කයක් ඇත්තේ නුඹට ම ය.
නමුත් නුඹ ඒහා සමානම, දඩයක්කාරයෙක් වන්නෙහි ය. සංසාරය පුරා දෛනිකව එකතු කොට ගන්නා වූ පාපය ද, සතා සතුන්ගේ අතුනුබහන්වලින් වැගුරුණා වූ ලෙයද, සියොළඟ තවරාගෙන, එයින් ම නෑවී කිලුටු වි සිටින්නෙහි ය.’

‘නමුත් මගේ ආත්මයේ ඒ කිසිදු පාපයක් තැවරී නැත්තේ ය’ කවදාවත් තමා නෑසු බහකින්, දඩයක්කාරයා කතා කරනවා ඈට අඩ නින්දේ ම ඇසුණේ ය.

‘තැවරෙන්නට උඹට ආත්මයක් කොයින්ද?’

‘ආත්මයක් නැත්කම්, ලේ තැවරෙන්නට මට ඇඟක් කොයින්ද?’

‘නුඹ අනාත්ම වූව ද, අනිත්‍ය වූව ද, නුඹේ ඉලක්කයට මතු වී පෙනී සිටින සත්ත්වයෝද සිටින්නෝ ය. ඔවුන්ගේ ඇඟපත, පපු කැවුතු, කීරි ගැහෙමින් ඇතුළු වන්නට, ඊතලයද, වෙඩි උණ්ඩද, මූනිස්සම් ද යන්නේය. පාතාලයා ගස්වන්නට නුඹේ ඇඟිලි ද, ඉලක්කය ගන්නට නුඹ ද වන්නේය.’

‘මා දෙස බලා මගේ ආත්මය විශ්ලේෂණය කරන්නට, ඔබ වහන්සේ සත්‍යයෙන්ම වැඩ වසනා පරිදි, මගේ ආරම්මණය තුළ සිට, පිටතට බලන මා කෙරෙහි මා තුළ මම ද වන්නෙමි.’

‘නැත. දඩයක්කාරය, නුඹ දෙස බලන මා තුළ, මා කෙරෙහි, මා පිණිස පමණක් නුඹය කියා සත්වයෙකු පවතින්නේ ය.’

‘නැත ස්වාමීනී! ඔබ තුමන්ගේ වචන අසන්නට දෙසවනක්ද, දෙසවනින් ඇසෙන දෑ විග්‍රහ කරන බුද්ධියක් සහිතව මා ද, මා කෙරෙහි මා, මා පිණිස, මා අරබයා මම ද පවතින්නෙමි.’

‘නොවේ දඩයක්කාරය! තොපගේ පැවැත්ම, තොපගේ උරයෙහි කාම උරගයෙකු  පරිදි දැවටී හිඳගෙන සිහිනෙන් මේ සියල්ල අසා සිටින දැරියගේ සිහිනයක් පමණක්, ඇගේ සිහිනය අරබයා, ඇගේ සිහිනය පිණිස, ඇගේ සිහිනය කෙරෙහි පමණක් පවතින්නේ ය.’

‘නමුත් මට ඇය බිම තබා, ඇහැරවා, පියවි සිහියෙන් මා කෙරෙහි, මා පිණිස, මා අරබයා ගැහැණියක කොට ගත හැක්කේය. ඇගේ තනතුඩු සැබැවින්ම මගේ දෙතොලින් ඉරිය හැක්කේය. සැපිය හැක්කේය. මගේ නියට ඇගේ කය මත සැබෑ නිය පහරවල් පිහිටුවිය හැක්කේ ය. මගේ කයට ඇගේ කය තුළින්, කාම රස දහර පීර පීරා අඹරා, මතුකොට ගත හැක්කේ ය. කාම රතියෙන් ඇගේ මුවින්, කාම සුසුම් ද, වේදනාවද, හතියද, සැබැවින්ම මගේ දතන් කටින් හපා විකා මගේ සැබෑ කුසට පත්කළ හැක්කේ ය. ඔබ වහන්සේට වළඳන්නට ද සැබෑ මුව මසක් දානයක් වශයෙන්, පිළිගන්වන්නට හැක්කේ ය.’

‘එහෙත් එද, ඔය ඇකයෙහි දාරා හිඳින දැරියගේ සිහින ජාලාව තුළ, සිහිනය තුළ, තවත් සිහින දානයක් පමණක් වන්නේ ය.’

‘මට ඇගේ සිහින ලෝකයට පෙනෙන්නේ, දැනෙන්නේ කුමක්දැයි, නො වැටහෙන බැවින්, ඇගේ සිහින මායා ලෝකය වටහා ගත නොහැක. මගේ ඇකයෙහි සිටිනා ඇගේ කාමරාගී ඇඟ පොජ්ජේ උෂ්ණය පමණක් දැනෙන්නේ ය.’

‘ඔතන ම වැඩ හිඳිනු මැනවි. මා සොයා යන මගේ ගෝලයා වන වෙඩික්කාරයා දමනය කොට, කස්තුරි මුවා වෙඩිතබා බිම හෙලන තුරු, වැඩ හිඳිනු මැනවි. උගේ මාංසය ඔබ වහන්සේට පූජා කරන විට, එම මාංසය සිහිනයක්ද, මායා මසක්ද, කියා පවසනු මැනවි.’

‘කස්තුරි මුවාගේ මස පමණක් නොව, කස්තරි මුවා ද මායාවක් පමණක්ම වන්නේ ය. ඔබ දමනය කරන්නට බලාපොරොත්තු වන්නා වූ වෙඩික්කාරයා පමණක්, ඔබගෙන් හීලෑ වී, ඔබ වැනිම වූ දඩයක්කාරයෙකු වන්නේ ය. ඔබ සමඟ පොර බදමින්, ඔබගේ දමනයෙන් ඔබටද, වඩා ශ්‍රේෂ්ඨ දඩයක්කාරයෙක් වන්නේ ය.’

‘වනාන්නතරයේ මේ සා දීර්ඝ ගමනට ද වඩා, ඔබ වහන්සේගේ ප්‍රශ්න උත්තරවලින් මම වෙහෙසට පත් වූයෙමි ස්වාමීනී!’

‘එයට ද පිළියමක් තිබේ. ඔය දැරිය බිමින් තබා අතපය මනාව දිග හැර, විවේකී ව හිඳගෙන බුලත් විටක් කනු මැනවි.’ "

-දඩයක්කාරයාගේ කතාව; සයිමන් නවගත්තේගම



ෆිල්ම් එකෙන් ඇතුල් වුණු වංකගිරියේ තවත් අතරමං වෙමින්, මඟතොට හොයාගනිමින් මේ ලිහන්න හදන 'සංසාරේ දඩයක්කාරයා' කියන්නේ මට අනුව බුද්ධගේ පෝට්‍රේට් එක. බුද්ධ ගැන කරපු හොදම ෆිල්ම් එක. 


මේ කියවන බ්ලොග් සටහන කියලා එකක් නෑ.. නැත්තේ නෑ, තියනවා. 


-තරිඳු ජයරත්න


ආශ්‍රිත ග්‍රන්ථ -

  • සිංහල ජාතියේ වංශකතාව සංසාරණ්‍ය සහ සයිමන් නවගත්තේගම - කේ. කේ. සමන් කුමාර
  • දඩයක්කාරයාගේ කතාව - සයිමන් නවගත්තේගම