'සියලු ධර්මයන් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැති නිසා, කෙලෙස් කියා හෝ ශුද්ධිය කියා හෝ දෙයක් ඇත්තේ නැත.'
-ලංකාවතාර සූත්‍රය
එතකොට මෙහෙම ලියවීමක් තියෙන්න බෑ. ඒ කියන්නේ එහෙම තියෙන්න ෆිල්ම් එකක් තියෙන්නත් බෑ. දඩයක්කාරයෙක් ඉන්නත් බෑ. හාමුදුරුකෙනෙක් නෑ. ගෝමරියක් නෑ. ප්‍රසන්න නෑ. මේ ලියන මමත් නෑ. එතකොට මේක කියවන ඔබත් නෑ. එතකොට මොනවද මේ අපි කරන්නේ. මේ අවට තියෙන්නේ? මේ කියවන්නේ?
නෑ.. ඇත්තටම මේක තියන නිසා.
මොකද මේ ලංකාවතාර සූත්‍රයට අනුව එහෙම සූත්‍රයක් තියෙන්නත් බෑ. එහෙම නෑ කියලා කියන මොහොතේම අපි එහෙම දෙයක් මොහොතකට කලින් කියවලා තියනවා.
එතකොට වෙනස් වෙලා තියෙන්නේ 'කාලය සහ අවකාශය'. මේ මොහොතින් මොහොත අලුත් වෙන සිතුවිලි, කැඩිලා බිඳිලා ආයේ හැදෙන සිතුවිලිවලින්, කාලය සහ අවකාශය කියලා දෙයක් අපි වටා නිර්මාණය කරනවා. ඒ නිසා අපට අපෙන් පිටස්තර සහ අප අභ්‍යන්තර ලොවක් හමුවෙනවා. ඒ වගේම කාලය සහ අවකාශය මඟින් අපි තුළ මෙහෙම කැඩිලා බිඳිලා යන්න සිතුවිලි කන්දරාවක් නිර්මාණය කරනවා. එතකොට අපිට මේ සිතුවිලි කියලා හම්බවෙන දේත් කාලය සහ අවකාශය විසින් නිර්මාණය කරපු දෙයක්.
සයිමන් දඩයක්කාරයාගේ කතාවේ මෙහෙම කියනවා.
" ‘උඹ බොහොම ශ්‍රේෂ්ඨ දඩයක්කාරයෙක්. උඹ ඔය දැරිය උස්සාගෙන,
වඩාගෙන යන්නේ කොහේද?’
දඩයක්කාරයා නැවතී බලා සිට, මෙසේ කතා කරනවා ඇසුණේය. එය
දඩයක්කාරයාගේ කටහඬම විය. කරපින්නාගෙන සිටි, ඇගේ එක කනක් ළඟින් ම, ඔහුගේ කටහඬ පිටවුණි.
ඒත් දඩයක්කාරයා වෙන දා කථා කළ භාෂාවෙන් නොව, අමුතුම භාෂාවකින්, ඇයට තේරුම් ගන්නට
බැරි බරපතළ ස්වරවලින් කතා කළේය.
‘මම ශ්‍රේෂඨ දඩයක්කාරයෙක් නොවෙමි. මගේ තුවක්කුවවත් මට ආරස්සා
කර ගන්ඩ බැරි වුණා. මේ ඔසවාගෙන යන්නේ දැරියක් නොවේ. ඇඟේ ඉඟ මගේ මිටින් ගත හැකි තරමේ
සිහින් දැරියක් බව ඇත්ත. ඒත් ඇය කාමයෙන් රත් වූ, රාගයෙන් පුෂ්ටිමත් මනුෂ්‍ය දුහිතෘකාවක්.’
‘ඕක තමා උඹේ කර්මය. උඹ මේ වනාන්තරයේ ශ්‍රේෂඨතම මනුෂ්‍යයා,
තියුණු ම දෙකන ඇත්තේද, තීක්ෂණම දෑස ඇත්තේම, අති පවිත්‍ර වූ අන්තර්ඥානයටම ආරම්මණය
වූ යෝගියෙකුගේ භාවනා නිමිත්තක් බඳු වූ, තියුණු ඉලක්කයක් ඇත්තේ නුඹට ම ය.
නමුත් නුඹ ඒහා සමානම, දඩයක්කාරයෙක් වන්නෙහි ය. සංසාරය පුරා
දෛනිකව එකතු කොට ගන්නා වූ පාපය ද, සතා සතුන්ගේ අතුනුබහන්වලින් වැගුරුණා වූ ලෙයද,
සියොළඟ තවරාගෙන, එයින් ම නෑවී කිලුටු වි සිටින්නෙහි ය.’
‘නමුත් මගේ ආත්මයේ ඒ කිසිදු පාපයක් තැවරී නැත්තේ ය’ කවදාවත්
තමා නෑසු බහකින්, දඩයක්කාරයා කතා කරනවා ඈට අඩ නින්දේ ම ඇසුණේ ය.
‘තැවරෙන්නට උඹට ආත්මයක් කොයින්ද?’
‘ආත්මයක් නැත්කම්, ලේ තැවරෙන්නට මට ඇඟක් කොයින්ද?’
‘නුඹ අනාත්ම වූව ද, අනිත්‍ය වූව ද, නුඹේ ඉලක්කයට මතු වී පෙනී
සිටින සත්ත්වයෝද සිටින්නෝ ය. ඔවුන්ගේ ඇඟපත, පපු කැවුතු, කීරි ගැහෙමින් ඇතුළු වන්නට,
ඊතලයද, වෙඩි උණ්ඩද, මූනිස්සම් ද යන්නේය. පාතාලයා ගස්වන්නට නුඹේ ඇඟිලි ද, ඉලක්කය
ගන්නට නුඹ ද වන්නේය.’
‘මා දෙස බලා මගේ ආත්මය විශ්ලේෂණය කරන්නට, ඔබ වහන්සේ සත්‍යයෙන්ම
වැඩ වසනා පරිදි, මගේ ආරම්මණය තුළ සිට, පිටතට බලන මා කෙරෙහි මා තුළ මම ද වන්නෙමි.’
‘නැත. දඩයක්කාරය, නුඹ දෙස බලන මා තුළ, මා කෙරෙහි, මා
පිණිස පමණක් නුඹය කියා සත්වයෙකු පවතින්නේ ය.’
‘නැත ස්වාමීනී! ඔබ තුමන්ගේ වචන අසන්නට දෙසවනක්ද, දෙසවනින්
ඇසෙන දෑ විග්‍රහ කරන බුද්ධියක් සහිතව මා ද, මා කෙරෙහි මා, මා පිණිස, මා අරබයා මම ද
පවතින්නෙමි.’
‘නොවේ දඩයක්කාරය! තොපගේ පැවැත්ම, තොපගේ උරයෙහි කාම උරගයෙකු පරිදි දැවටී හිඳගෙන සිහිනෙන් මේ සියල්ල අසා
සිටින දැරියගේ සිහිනයක් පමණක්, ඇගේ සිහිනය අරබයා, ඇගේ සිහිනය පිණිස, ඇගේ සිහිනය කෙරෙහි
පමණක් පවතින්නේ ය.’
‘නමුත් මට ඇය බිම තබා, ඇහැරවා, පියවි සිහියෙන් මා කෙරෙහි,
මා පිණිස, මා අරබයා ගැහැණියක කොට ගත හැක්කේය. ඇගේ තනතුඩු සැබැවින්ම මගේ දෙතොලින් ඉරිය
හැක්කේය. සැපිය හැක්කේය. මගේ නියට ඇගේ කය මත සැබෑ නිය පහරවල් පිහිටුවිය හැක්කේ ය.
මගේ කයට ඇගේ කය තුළින්, කාම රස දහර පීර පීරා අඹරා, මතුකොට ගත හැක්කේ ය. කාම රතියෙන්
ඇගේ මුවින්, කාම සුසුම් ද, වේදනාවද, හතියද, සැබැවින්ම මගේ දතන් කටින් හපා විකා මගේ
සැබෑ කුසට පත්කළ හැක්කේ ය. ඔබ වහන්සේට වළඳන්නට ද සැබෑ මුව මසක් දානයක් වශයෙන්,
පිළිගන්වන්නට හැක්කේ ය.’
‘එහෙත් එද, ඔය ඇකයෙහි දාරා හිඳින දැරියගේ සිහින ජාලාව
තුළ, සිහිනය තුළ, තවත් සිහින දානයක් පමණක් වන්නේ ය.’
‘මට ඇගේ සිහින ලෝකයට පෙනෙන්නේ, දැනෙන්නේ කුමක්දැයි, නො
වැටහෙන බැවින්, ඇගේ සිහින මායා ලෝකය වටහා ගත නොහැක. මගේ ඇකයෙහි සිටිනා ඇගේ කාමරාගී
ඇඟ පොජ්ජේ උෂ්ණය පමණක් දැනෙන්නේ ය.’
‘ඔතන ම වැඩ හිඳිනු මැනවි. මා සොයා යන මගේ ගෝලයා වන වෙඩික්කාරයා
දමනය කොට, කස්තුරි මුවා වෙඩිතබා බිම හෙලන තුරු, වැඩ හිඳිනු මැනවි. උගේ මාංසය ඔබ
වහන්සේට පූජා කරන විට, එම මාංසය සිහිනයක්ද, මායා මසක්ද, කියා පවසනු මැනවි.’
‘කස්තුරි මුවාගේ මස පමණක් නොව, කස්තරි මුවා ද මායාවක්
පමණක්ම වන්නේ ය. ඔබ දමනය කරන්නට බලාපොරොත්තු වන්නා වූ වෙඩික්කාරයා පමණක්, ඔබගෙන්
හීලෑ වී, ඔබ වැනිම වූ දඩයක්කාරයෙකු වන්නේ ය. ඔබ සමඟ පොර බදමින්, ඔබගේ දමනයෙන් ඔබටද,
වඩා ශ්‍රේෂ්ඨ දඩයක්කාරයෙක් වන්නේ ය.’
‘වනාන්නතරයේ මේ සා දීර්ඝ ගමනට ද වඩා, ඔබ වහන්සේගේ ප්‍රශ්න
උත්තරවලින් මම වෙහෙසට පත් වූයෙමි ස්වාමීනී!’
‘එයට ද පිළියමක් තිබේ. ඔය දැරිය බිමින් තබා අතපය මනාව දිග
හැර, විවේකී ව හිඳගෙන බුලත් විටක් කනු මැනවි.’ "
-දඩයක්කාරයාගේ කතාව; සයිමන් නවගත්තේගම