Friday, February 9, 2018

The Circle - 2000



පහුගිය දවසක මංගල ගෙනාපු මධ්‍යසාර පනතේ සංශෝදනත් එක්ක ලංකාවේ සංස්කෘතික කාන්තාරය පොඩ්ඩක් හෙල්ලුනා. මංගල මොන දේශපාලනික අරමුණකින් ගෙනාවත් ඒ පනතේ ගොඩක් සාධනීය දෙවල් තිබුනා. කාන්තාවන්ට අරක්කු එක්ක නිදහස් වෙන්න දොර ඇරපු එකේ ඉදන් ගොඩක් දේවල්. ඒත් මෛත්‍රීපාල ඇතුලු ලංකාවේ සංස්කෘතික වන්දි බට්ටයන් ලංකාවා ආයේ සෑහෙන කාලෙකට ගන්න බැරි තරම් ඈතක ඇදල දැම්ම. ලංකාව තාමත් අර හණමිටි අදහස් එක්ක සංස්කෘතික කාන්තාරෙක තනි වෙලා ඉන්න වෙනවා; මේ වෙනස් වීම් උහුලගන්න බැරි නිසා. ශ්‍රී ලංකාව කියන උතුම් දේශයට, LGBT හරි ප්‍රොස්ටිටුශන් හරි ඇබෝශන් හරි තව කාලයකටම නීතිගත කර ගන්න බැරි බව මේ පුංචි සාධකෙන් පේනවා. ඒ සංස්කෘතික නිදහසත් එක්ක මිනිස්සු හැසිරෙන කාලයක් මේ කාලකන්නි දේශයට තව සෑහෙන කාලයට උදා නොවේවි.

'The Circle - 2000’ කියන්නේ ඉරාන් ෆිල්ම් මේකර්, ජෆාර් පහානිගේ ෆිල්ම් එකක්. 2000 වෙනීස් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ 'ගෝල්ඩන් ලයන්' ගත්තේ මේක. පොඩි ප්ලොට් එකක් අරං (පොඩි කාලයක කතාවක්) ගොඩක් ඈත ඩෙප්ත් එකකට යන්න ගොඩක් ඉරාන් ෆිල්ම් මේකර්ස්ලා දක්ශයි. කියරොස්තාමි, මජිඩි මජිඩි, පහානී වගේම ෆර්හාඩි ඉදන් තව ගොඩක් අය ඒකට මාර ටැලන්ටඩ්. ඉරානයේ ආර්ට් වලට තියන අවම නිදහසත් එක්ක ඒ මිනිස්සු හැමදාම පේන පොඩි කෑල්ලෙන් වෙනස් දේවල් දෙන්න ට්‍රයි කරා. ද සකල් කියන්නේ එහෙම එකක්. ටෙහරාන් වල පැය කිහිපයක් තුළ කාන්තාවන් කිහිප දෙනෙක් මුහුණ දෙන සිදුවීම් කිහිපයක්. හැබැයි ඒ ඉරාන බහුතර කාන්තා නියෝජනයක් විදියට ගේන්න පහානී සමත් වෙනවා. 

ෆිල්ම් එකේ පළමු කැරක්ටර් එකේ ඉදන් ඒ ඒ කැරැක්ටර්ස් හරහා ප්ලොට් එක ශිෆ්ට් කරන ගමන් ගලාගෙන යන කතාවක් ජෆාර් පහනි ගොතලා තියනවා. ද සකල් වෙන්නේ එහෙමයි. ඇරඹුනු තැනකට අවසානයක් ගේනවා. වූම්බ් එකින් එලියට එන ගැහැණිය පිරිමියගේ උවමණාවන් වලට පමණක් යටත් වෙලා හිර ගෙදරක් (සිම්බොලික් මරණය) ඇතුලේ හිර වෙන අවසානයක්. 

ෆිල්ම් එක පටන් ගන්නේ රෝහලක ලේබර්රූම් එකේ විමසීම් කවුලුවෙන්. තමන්ගේ දුවට දුවෙක් හම්බ වෙලා කියලා ඒ කවුලුවෙන් නර්ස් කෙනෙක් කියනවා. ඒ වයසක ගෑණූ කෙනාට ඒක විශ්වාස කරන්න බෑ. ඇයගේ දුවගේ ස්වාමිපුරුශයා සහ පවුලේ කට්ටිය බලන් ඉදලා තියෙන්නේ පිරිමි ළමයෙක්. මේ ආච්චී මිණිබිරියක් ලබීම ගැන අවුලෙන් එලියට එනවා. ඊට පස්සේ ජෆර් පාහානී ලිහනවා ඇයි මේ ආච්චී මිණිබිරියක් ලැබීම පිළිබඳ මෙච්චර අවුලකට යන්නේ කියලා. විවිධ වයස් වල පාරතොටේ මුණගැහෙන කාන්තා චරිත එකට ඈඳලා අපිව ආච්චිගේ අර්බුධය ගැන කොන්චස් කරනවා. කාන්තාවක් වීම මිඩ්ල් ඊස්ට් වල කොයිතරම් අර්බුධයක්ද කියලා දිගින් දිගටම ආසියාතික රටක ඉන්න අපිවත් බය කරවනවා. ඒ අපේ රටෙත් ඒ කාන්තා නිදහස නැති නිසා. තාම අපි හැමෝම විවිද විදියට නිදහස අහුරවමින් ඉන්නේ.

ලංකාවේ කාන්තාවක් බොන එක, සිගරට් එකක් බොන එක තාම ලංකාවේ පිරිමියට දරා ගන්න බැරි වෙනවා. ඒ නිදහසේ සෞන්දර්ය හිතා ගන්නවත් බැරි බහුතරයක් ලංකාවේ කාන්තාවනුත් තාම ඒ නිදහස ඇහිරීම වෙනුවෙන් එකඟ වෙමින් ඉන්නේ. තාම පිරිමියාගේ දාසභාර්යාව වශයෙන් ඔවුන් බෞතීස්ම වෙන්න කැමතියි. රණ්බන්ඩා ලියපු නීලා කියන "ඔබ ගෙදර එන්න" සිංදුව වගේ. ලංකාවේ බහුතරයක් කාන්තාවන් ඒ නිදහස ඉමැජින් කරන්නවත් අකමැතියි.

මේ ‍ෆිල්ම් එකේ එක නිරුවත් දර්ශනයක්වත්, එක වයලන්ස් එකක්වත්, ඩ්‍රග්ස් සීන්ස් වගේ මුකුත් නැතුව මේ ‍ෆිල්ම් එක ඉරන් වල බෑන් කරනවා. සිනමාව පවර්ෆුල් ලැංවේජ් එකක් කියන්නේ මේ වගේ දෙයකට. හරිම ස්මූත් ගලන රූප රාමු වලින් ඉරානය හොල්ලන ප්ලොට් එකක් එළියට එනවා. ඉරාන කාන්තාව සහ ඉරාන සිනමාව අතරේ නිදහසේ ලොකු වෙනසක් නැහැ. දෙකම සීමා සහිතයි. මේ සීමාව, සීමාව තුළම අතික්‍රමණය කරන්න හදන නිසා තමා ඉරාන් ‍ෆිල්ම්ස් වල පොඩි ප්ලොට් ලොකු දේවල් විදියට එළියට එන්නේ. ජෆාර් ෆහානිට පස්සේ කාලේක ‍ෆිල්ම්ස් කරන්න තහනම් කරනවා. ඔහු නිවාස අඩස්සියෙ හිරකරනවා. පහානී ඒ කාලේ කරනවා හරි අපූරු ‍ෆිල්ම් එකක්. "This is not a film - 2011" තමා ‍ෆිල්ම් එකේ නම. මෙය ‍ෆිල්ම් එකක් නොවේ. පහානිගේ මොබයිල් ෆෝන් එකෙන් ගෙදර ඇතුලෙම ඉදන් ශූට් කරනවා. ඔහුම කතාව ඉදිරිපත් කරනවා. කොහොම හරි පහානී මේක ඉරන් වලින් පන්නලා කාන් වලට යවන්න සමත් වෙනවා. කාන්ස් වල ‍ෆිල්ම් එකට ලොකු තැනක් හම්බ වෙනවා. පහානී කියන්නේ අමුතු චරිතයක්. ඔහු 2015 ගෝල්ඩන් බෙයා ගන්නවා ටැක්සි ‍ෆිල්ම් එකට. ඉරානයෙන් එලියටවත් එන්න බැරුව ඔහු ජාත්‍යාන්තර සිනමා උලෙලවල් වල චරිතයක් වෙනවා. ඒ ජෆර් පහනි. සිරගත අසීමාන්ති සිතන්නා.

ඉරාන කාන්තාවන්ට නගරයෙන් එළියට යන්න බෑ ID එක නැතුව. නගරෙ ඉන්නත් බෑ ID එක නැතුව. යන්නත් බැරිනම් ඉන්නත් බැරුනම් මොනවද ගැහැණිය කරන්නේ. කාන්තාවන් වැරදිකරුවන් වෙන්නේ ඒ වගේ දෙවල් එක්ක. හැම වෙලාවෙම ID එක තියෙන්නේ පිරිමියට. ගැහැණිය හැම තිස්සෙම පිරිමියෙක් හරහා තම අනන්‍යතාව සලකුණු කරමින් තමයි ඉරාන් වල ඉන්න වෙන්නේ. සකල් වල ඉන්නේ එහෙම. ලේබර් රූම් එකේ පටන් ගත්ත ශොට් එක වගේ ශොට් එකකින් ‍ෆිල්ම් එක අවසන් වෙනවා; ඉරාන කාන්තාව ප්‍රතිනිර්මාණය කරමින්. ඒ ශොට් එක හිර ගෙදරක විමසුම් කවුළුවක්. අන්තිමට විමසුම් කවුළුව වහල දානවා.

අපි විමසන්න කෙනෙක් නැතුව අතර මං වෙනවා. ඇත්තට අපි හැමෝගෙම නිදහස විවිධ දේවල් වලින් හිර වෙලා. කාටවත් විමසන්න බෑ. කවුරුත් දන්නේ නෑ ඇත්තටම හිරවෙලාද කියලා. හරියට මේ ලියන මං The Circle වල හිරවුණා වගේ.

-තරිඳු ජයරත්න
___________________

හෙට (පෙබ: 10) හවස 5.30 ට ඉරාන් ‍ෆිල්ම් ෆෙස්ටිවල් එක තරංගනී එකේ පටන් ගන්නවා. ලබන බදාදා (පෙබ: 14) වෙනකම් ෆෙස්ටිවල් එක තියනවා. ලංකාවේ අපිට වැඩිය හුරු පුරුදු නැති ‍ෆිල්ම් මේකර්ස්ලගේ ‍ෆිල්ම්ස් සෙට් එකක් මේ පාර තියෙන්නේ. වෙලාවක් තිබ්බොත් ඇවිත් යන්න.

BODYGUARD - Saturday 10th Feb - 05.30 pm
TRACK 143 - Sunday 11th Feb - 03.30 pm
A CUBE OF SUGAR - Sunday 11th Feb - 05.30 pm
SWEET TASTE OF IMAGINATION - Monday 12th Feb - 06.30 pm
WHERE ARE MY SHOES? - Tuesday 13th Feb - 06.30 pm
THE PAINTING POOL - Wednesday 14th Feb - 06.30 pm

Tuesday, January 16, 2018

Mrs. Fang - 2017


"ඔබ මට සිහි වෙයි
දහසක් ගිලනුන් මිය ගිය
මේ ඇඳ මත
නිසලව වැතිරී මම
ඔබ ගැන සිත සිතා ඉඳිමි.

මෙය 
මැදියම් ‍රැය විය හැක,
කාලය ගලා නොයයි,
විශ්වය නිශ්ශබ්දය."

-නොමියෙමි : සේකර

මරණය ගැන මට තියෙන්නේ කාංසාසහගත අවබෝධයක්. ඒක සෞන්දර්‍යාත්මකව විශ්ලේශනය කරනවට වඩා වේදනාබර කාංසාවට මං කැමතියි. 2017 අවුරුද්දේ ගොඩක් සමීප මරණ දෙකක් සිදු වුණා. එකක් ලොකු මාමා. අනික ආත්‍තම්මා. මේ දෙකම කාලානූරූපීව මරණ වෙත විතැන් වෙලා සිදුවුණු සිදු වීම්.

මරණයක සැබෑ අරුත වෙන්නේ ආයේ ඒ ජීවියා අපිට සැබෑ ලෙසම දකින්න බැරුව යාම. මරණයකින් පස්සේ තියෙන්නේ මතකයන් ගොඩක් විතරයි. ළඟම කෙනෙක්ගෙ වෙන්වීමක් ගොඩක් වෙලාවට දැනෙන්නේ ආයේ එයා අපි ගාවට එන්නේ නෑ. එදා වගේ ලඟට ඇවිත් කතා කරන්නේ නෑ වගේ, සිතුවිලි කිහිපය පමණයි. හැබැයි කොන්චස් වුණාම ඒ සිතුවිලි මාර ගැඹුරුම තැනකට කිඳා බහිනවා. සැන්ඩි නොකරපු විස්කි වඩියක් මහා අන්ත්‍ර කුඩා අන්ත්‍ර පහු කරගෙන යනකොට දැනෙන වේදනාව වගේ එකක් මේ සිතුවිලි සිතේ ගැඹුරට යද්දී දැනෙන්නේ. සෞන්දර්‍යාත්මක වේදනාවක්. ඒ වේදනාවත් අරක්කු වගේ පීඩාකාරීයී. ඒත් මත් වෙන සුන්දරත්වය වගේ කංසාසහගත මරණීය සිතුවිලිවලට අපි කැමතියි.

මිසිස් ෆැන්ග් ( Mrs. Fang -2017) කියන්නේ 2017 ගෝල්ඩන් ලෙපර්ඩ් ගත්ත ෆිල්ම් එක. මේක බින්ග් වැන්ග් (Bing Wang) කියන චීන ජාතික චිත්‍රපට අධ්‍යක්ශකවරයගෙ ෆිල්ම් එකක්. ෆැන්ග් මැතිනියගෙ අවසාන දවස් කිහිපය තමයි ෆිල්ම් එකේ දුවන්නේ. ඩොක්‍යුමෙන්ට්‍රි සහ ෆික්ශන් කියන බෙදීම දැන් ගොඩක් අඩුවෙලා තිබ්බත් තාම මේකේ ශෝනර් එක විදියට තියෙන්නේ ඩොක්‍යුමෙන්ට්‍රි කැටගරි එකේ. ඇත්තම ෆැන්ග් මැතිනිය මිය යන දවස්ටික ශූට් කරපු එක තමයි ෆිල්ම් එක. ඇත්තම දවස් ටික. ඇත්තම මොහොතවල්. මරණ මංචකයේ ඉන්න කෙනෙක්ට, තව ටිකකින් මරණය වැලඳ ගන්න සූදානමින් ඉන්න එක කොහොමද කියල දැන ගන්න වෙන්නේ මරණ මංචකයේදිම තමයි. අපිට එළියෙ ඉදල කියන දේ අපේ ඉන්ටප්‍රිටේශන් එක මිසක් ඒ පුද්ගලයගෙ හැඟීම නෙවේ. හැබැයි මරණය කියන කන්සෙප්ට් එකේ තියන වේදනාව (පශ්චාත් වේදනාව) එන්නේ මැරෙණ කෙනාට වඩා ජීවත්ව ඉන්න කෙනාට. මරණය මරණයක් වෙන්නේ ජීවත් වෙන කෙනාට. මරණ මංචකයේ ඉන්න කෙනෙක් එක්ක දවස් දෙක තුනක් ගත කරන එක පොඩි මෙඩිටේශන් එකක් වගේ. හැබැයි ඉන්නේ කොයි වෙලේ මැරේවිද කියල බලාපොරොත්තුවකින්. අඬන්න. මෙඩිටේශන් එක ටාගට් එකක්. දුක ළං වීමක්.

බින්ග් වැන්ග් කියන්නේ ටිකක් අමුතු ඩිරෙක්ටර් කෙනෙක්. ඒ වගේම තව පොරක් ඉන්නවා පිලිපීනේ. 'ලව් ඩයස් (Lav Diaz)'කියලා. දෙන්නා ටිකක් එක වගේ. මිනිමලිස්ටික්  ප්ලොට් එකක් එක්ක ගොඩක් දිග සීන් එක්ක තමයි ‍ෆිල්ම් එක පුරා අපිව අරන් යන්නේ. බින්ග් වැන්ග් එළියට 2002 දී "වෙස්ට් ඔෆ් ට්‍රැක්ස්' (Tie Xi Qu: West of the Tracks - 2002) කියන පැය 9ක් දිග ‍ෆිල්ම් එකත් එක්ක. කොටස් තුනකින් දුවන ‍ෆිල්ම් එක, සියවසක හුවමාරු වීම (1999 සහ 2001) සහ චීන ජාතිකයන් ටච් කරනවා. ඔහුගේ දිගම ‍ෆිල්ම් එක මේක නෙවේ ඇත්තටම. ඔහු 2008 දී 'කෲඩ් ඔයිල් (Crude Oil - 2008)' කියල පැය 14 ක ‍ෆිල්ම් එකක් කරනවා. කොහොම හරි ලව් ඩයස් වගේ බින්ග් වැන්ග් චීනෙ ඉදන් සිනමාව පැය එක හමාර දෙකෙන් ගලවලා ජීවිත කාලයෙන් සැලකිය යුතු ප්‍රමානයක් ‍ෆිල්ම් එකට ගන්නවා. ඒත් එක්ක ‍ෆිල්ම් එක අපෙන් එළියේ නැතුව ඇතුලෙම තැනක රෝපණය කරනවා.

"'හව් ‍ටු රීඩ් විට්ගන්ස්ටයින්' කෘතියේදී ගොට්ලොබ් ෆ්‍රෙජ් මෙසේ කීවේය. 'ඔබේ පොත කියවීමේ ප්‍රීතිය පැන නගින්නේ මා කලින්ම දන්නා එයි අන්තර්ගතයෙන් නොවේ. එයට ඔබ දී ඇති සුවිශේෂී ආකෘතිය නිසාය. ඒ නිසාම ඒ පොත් විද්‍යාත්මක කෘතියක් නොව කලා කෘතියකි.' එපමණක් නොව දැන් ඒ කෘතියෙහි අන්තර්ගතයද, ඔහු දැන සිටියේ යැයි සිතූ අන්තර්ගතයද, වඩාත් අපූර්ව ස්වරූපයක් ගෙන ඔහු හරියටම දැන සිටියේ යැයි කිව නොහැකි අන්තර්ගතයක් බවට පෙරළී ඇතැයි ෆ්‍රෙජ් කිව යුතුව තිබුණි."

- අළු පැහැති ආරංචි : ලියනගේ අමරකීර්ති


අළු පැහැති ආරංචි පොත පටන්ගන්න කලින් අමරකීර්ති එහෙම කියනවා. ආකෘතිය ගැන හොද ඉන්ට්‍රප්‍රිටේශන් එකක් ඒකේ තියනවා. මිසිස් ෆැන්ග් ‍ෆිල්ම් එකේ අන්තර්ගතය අපි දැන් දන්නවා. ඒත් ‍ෆිල්ම් එකක් කියන්නේ කාලය සහ අවකාශය තුළ අපිව අරන් යන ට්‍රිප් එකක්. ඒක ප්ලොට් එක දැන සිටීමට වඩා වෙනස්.  එකම ‍ෆිල්ම් එක දෙතුන් පාරක් බැලුවත් යන්නේ පොඩි හරි වෙනස් කමක් තියන ට්‍රිප් එකක්. මරණය ගැන අපි හැමෝම දන්න කාරනය තුළ දන්නේ නැති වෙනස්ම ෆීල් එකක් දැනෙන්න ගන්න පුලුවන් හොඳ පිල් එකක්; 'මිසිස් ෆැන්ග්'.

'මිසිස් ෆැන්ග්' කියන පිල් එක දැම්මම පටන් ගන්නේ හරිම සීතල හැඟීමකින්. ඒ සීතල හැඟිමත් එක්ක පටන් ගන්න බෝරිංනස් එක ‍ෆිල්ම් එක බලන් ඉන්න අමාරුවෙන තරමට තියනවා. ඒත් ඒ අමාරුව තමයි ලයිෆ් එකේ අවසානය වෙත හෝ ඩෙත් එකේ ආරම්භය වෙත අපිව අරං යන්නේ. පේන්න කිසිවක් නොවන තැන ඇතුලේ ගොඩක් දේවල් වෙනවා. එක්ස්ට්‍රා කැ‍රැක්ටර්ස් හැමවෙලේම මාරු වෙනවා. ෆැන්ග් මැතිනිය විතරක් එකම තැන ඉඳගෙන ටික ටික මරණයට ළං වෙනවා. ඒක ඇතුලෙන් වෙන ප්‍රොසෙස් එකක්.  කිසිවක් වෙනවා කියලා පේන්නේ නැති ප්‍රොසෙස් එකක්. ‍ෆිල්ම් එකේ ඩියුරේශන් එක ඉවර වෙද්දිම අපිට දැනෙනවා මොකක්දෝ වෙනවා. ඒක වචනවලට හරවන්න බැරි අමුතු හැඟීමක්.

ඔබ මට සිහි වෙයි

දහසක් ගිලනුන් මිය ගිය
මේ ඇඳ මත
නිසලව වැතිරී මම
ඔබ ගැන සිත සිතා ඉඳිමි

ඒ දහසක් ගිලනුන්ගේ 
ප්‍රාණ වායු
මෙතෙක් මෙලොව ඉපිද මැරුණු
අසංඛ්‍ය ප්‍රාණීන්ගේ
ප්‍රාණ වායු
මා හද තුළට පිවිස
මොහොතක් නතරව හිඳ
සුසුමක් සේ 
පිට වී යයි.

කාලය ගලා නොයයි
විශ්වය නිශ්ශබ්ධය.

-නොමියෙමි : සේකර


-තරිඳු ජයරත්න.



Sunday, December 31, 2017

The Pursuit of Happyness - 2006


2017 කියන අවුරුද්ද ඉවරයි. ඒ කියන්නේ දවස් 365 ක පැකේජ් එකක් ඉවර වුනේ. දැන් තව දවස් 365ක පැකේජ් එකක් එන්න තියනවා. නම 2018. තත්පර මිලියන 31 ක්. ජීවිතය කියන්නේ 2018 කරන්න ඉන්න ටික හරි 2017 කරන්න බැරි වුණු ටික නෙවේ. මේ මොහොතෙ ගත කරනා කාලය. මේ දැන් තමන්ට ඕනී දේ කරගෙන ඉන්න පුලුවන්නම් ඒක තමා ජීවිතය වෙන්නේ. සතුට වෙනුවෙන් හෙට වෙනකම් බලන් ඉන්න එක නෙවේ. හෙට කියල දෙයක් නැති නිසා දැන් ලියිෆ් එකට ඕපන් වෙන්න. කරන්න ඕනී දේ දැන් කරන්න.

පර්සුයිට් ඔෆ් හැපිනස් (The Pursuit of happyness - 2006) ඉතාලියානු ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වන Gabrile Muccino ගේ ෆිල්ම් එකක්.

"සතුට ලුහුබැඳීම"

හෙට සතුටෙන් ඉන්න අද දුක අනුභව කරන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. සතුට ලුහුබඳිනව කියන්නේ ඒකට. ඒත් මේ මොහොත සතුටින් ගත කරන්න පුලුවන්නම් ඒක තමයි රහම කෑල්ල. හෙට සතුටෙන් ඉන්න අද දුක් විදින එකෙන් වෙන්නේ හැමදාම සතුට කල්දදා ඉන්න එක. ඒ නිසා සතුට ලුහුබඳින එක අත හැරින්න. මේ වෙලාවෙම සතුටින් ඉන්න.

"ටාගර්ට්ස් ඇචීව් කර ගැනීම"

ලයිෆ් කියන එක ගත්තම හරිම පොඩි ටයිම් ෆ්‍රේම් එකක්. අකල් මරණයක් නොවුනොත් ඒක අවුරුදු 70ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ඒකත් තමන්ගේ කොන්ට්‍රෝල් එකේ තියෙන්නේ ඉතාම සීමිත කාලයක්. (ඇත්තම කිව්වොත් තමන්ගේ ජීවිතේ තමන්ගේ කොන්ට්‍රෝල් එකේ නෑ කවදාවත්) අපි උපකල්පනය කරොත් අවුරුදු 16 පස්සේ ඉතිරි ටික සුලු වශයෙන් හරි තමන්ගෙ කොන්ට්‍රෝල් එකේ තියනවා කියලා ඒ කාලේ තමයි වැඩ ටික කර ගන්න වෙන්නෙ. ඉතිං මේ චුට්ටි කාලේ සල්ලි හොයන්න මහන්සි වෙන්නේ අපි සතුට ලඟා කර ගන්න. සල්ලි වලින් සතුටට පාලමක් හදා ගන්න තමයි මේ මහන්සි වෙන්නේ. ටාගට්ස් තියා ගන්න. ටාගට්ස් ඇචීව් වුණාට පස්සේ සතුට කියන එකක් නැති වෙලා යනවා. ඊට පස්සේ හරිම හිස් බවක් එක්ක ඉන්නේ; ඊට පස්සේ වෙන ටාගට් එකක් පස්සේ යැවෙනවා. ඊට පස්සේ සතුට තියෙන්නේ එතන කියල හිතෙනවා. ඇත්තටම එතනදි ආයේ වෙන්නේ අලුත් එකක්. ඉතිං අලුත් වෙන ටාගට්ස් එක්ක සතුට තව තව වේරීයේශන්ස් වලින් ඈතට යනවා. ඒත් ටාගට්ස් ඇචීව් කර ගන්න. ඒත් මේ මොහොතේ සතුටෙන් ඉන්න. ටාගට්ස් ඇචීව් වුණාට පස්සේ සතුටෙන් ඉන්නේ නැතුව දැන්ම හිත නිදහස් කරගන්න. මේ සුන්දර නිදහස් බව අත් විඳින්න.

The Pursuit of Happyness ෆිල්ම් එක

‘Happyness’ ග්‍රැමටිකලි වැරදියි; හරි එක ‘Happiness’ කියලා ෆිල්ම් එක පටන් ගනිද්දිම ක්‍රිස් (වීල් ස්මිත්) කියනවා. ඒත් ෆිල්ම් එකේ නමත් මේ ස්පෙලින්ග්ස් වැරදි ‘The Pursuit of Happyness’. ඒ කියන්නේ සතුට ලුහුබඳින්න බෑ කියලද. නැත්නම් ලුහුබඳින තැන සතුටක් නෑ කියලද. කොහොම වුණත් ෆිල්ම් එකේ නමෙන් ගොඩක් දේවල් කිය වුණත් ෆිල්ම් එකේ වෙන්නේ සල්ලි හොයන්න මහන්සි වෙන සාම්ප්‍රධායික පුද්ගලයෙක්. පුරුදු විදියටම බැඳපු දවසේ ඉදන්ම වයිෆ්ගෙන් බැනුම් අහ අහා තාමත් තමන්ගේ ඉලක්කයට දත කාගෙන යන පොරක්. ඔහු දැනට කීයක් හරි හොයා ගන්නේ ස්කෑන් මැශීන් එකක් විකුණලා. ඔහුගේ ඒ ස්කෑනර් එකට නොවෙන දෙයක් නෑ. කැඩෙනවා. හොරු ගන්නවා. තමන්ගෙ අතින්ම මිස් වෙනවා. ඒත් ඔහු ඒ අවසාන ස්කෑනර් එක විකුණනකම්ම ඉන්නවා. කොහොම හරි අවසාන එක විකුණනවා.

Pursuit- අත්නොහරින ඉලක්කය

ඔහුට බ්‍රෝකර් කෙනෙක් විදියට ජොබ් එකකට කතා කරනවා. (කතා කරව ගන්නවා) හැබැයි ඉන්ටර්න්ශිප් මාස හයක්. සැලරි නැති. ඔහු ඒ මාස හය අල්ලන් ඉන්නවා. දවසක සල්ලිකාර පොරක් වෙන්න මේ මාස හය අල්ලන් ඉන්නවා. අන්තිමට ඔහු ඒ බ්‍රොකරේජ් ෆර්ම් එකේ බ්‍රෝකර් කෙනෙක් විදියට වැඩට ගන්න තැනින් ෆිල්ම් එක ඉවර වෙනවා.

ෆිල්ම් එකේ ගේන මතුපිට කෑල්ලට වඩා මම හිතන්නේ වැදගත් වෙන්නේ ඔහු ඒ ටාගට් එක ඇචීව් වුණාට පස්සේ ජීවත් වෙන විදිය. ඔහු තමන්ටම ෆර්ම් එකක් දාගෙන ඒක පස්සේ කාලෙක මිලියන ගාණකට විකුණනව කියල සඳහන් වෙනවා. මේක ටෲ ස්ටෝරි එකකින් හදන ෆිල්ම් එකක්. මොටිවේශනල් ෆිල්ම් එකක් විදියට ගන්නත් පුලුවන්. 

සතුට ලුහුබඳින එක නවත්තන තැන සතුට තියනවා කියල දැන් මම විශ්වාස කරන්නේ. මිනිහෙක් වුණාම ටාගට්ස් ඇචීව් කර ගන්න ඕනි. ඒත් හෙට සතුට වෙනුවෙන් අද දුකෙන් ඉන්නෙ නැතුව මේ මොහොත සුන්දරව ගත් කරන්න. හෙට නැත්නම් ඊයෙ වෙනුවෙන් නැතුව මේ මොහොත හරියට ඉන්න. ලුහුබඳින්නේ නැති වුණාම අපිට ළඟා කර ගන්න දෙයක් නෑ. එතකොට, මේ දේ කරන්න ඕනි කියන බර ඔලුවට නෑ. බරක් නැති තැන හරිම සැහැල්ලුයි. ඒ සැහැල්ලුවම සතුටක්.

- තරිඳු ජයරත්න

Monday, December 4, 2017

Like Someone In Love - 2012


කාලෙකින් මේ ලියන්න පටන් ගන්නේ. වැඩ වැඩි නිසාම මඟ හැරුනු ලියවිල්ලකට වඩා ලියන්න මූඩ් එකක් තිබ්බේ නෑ. හරිම ස්ට්‍රක්චර්ඩ් ලයිෆ් එකක් අරං යන දවස් ටිකක් මේ. ඉතිං ස්‍ට්‍රක්චර් එක ඇතුලේ ආයේ ලියන්න වෙලාවක් ෆික්ස් කර ගන්න එක හරිම කම්මැලි වැඩක්.

තිබ්බ අවුල් වෙදර් එකත් එක්ක ලෝන්ග් වීකෙන්ඩ් එක එහෙම් පිටිම්ම අවුල් ගියා. ඇදට වෙලා ගෙවුනු වෙලාව වැඩි වුනා. මේ කම්මැලිකම අස්සේ ඩවුන්ලෝඩ් කරගෙන කාලයක් වුණු හැමදාමත් බලන එක පස්සට ගිය කියරොස්තාමිගේ 'Like Someone In Love - 2012’ බැලුවා. කාලයක්ම හාර්ඩ් එකේ තිබ්බත් බලන්න බැරි වුණු එකට හිතට බැන බැන තමයි බැලුවේ.

කියරොස්තාමිගේ අවසාන ෆීචර්ස් ටික කියරොස්තාමියානු ෆ්‍රේම් එකෙන් ගලවලා වෙන තැනක ප්ලේ වෙච්ච ඒවා. විශේෂයෙන් 'සෙටිෆයිඩ් කොපි' (Certified Copy - 2010) සහ 'ලයික් සම්වන් ඉන් ලව්' (Like Someone In Love - 2012) මුනිවර ප්‍රේම කතා විදියට ගේනව. ඕශෝගේ වගේ නිවිච්ච ගතියක් ඒ සෙලෝලොයිඩ්ස් අස්සේ ගමන් කරනවා. ජීවිතේ පරිනත වෙලා මඟහැරුණු ප්‍රේම සම්බන්ධතා ගැනත් පරිනත කාලෙදි හම්බවෙන ප්‍රේම සම්බන්ධතාත් කියරොස්තාමිට ගැටගැහෙනවා ඇත්තේ මෙහෙම වෙන්න ඇති. අනික ඒ ෆිල්ම් දෙකම කරන්නේ ඉරානයේ නෙවෙයි. වෙනම රටවල් දෙකක. නුහුරු මිනිසුත් එක්ක. ඒකම වෙන්න ඇති වඩාත් පැරණි දේශපාලනික කෘතිවලට නොයා කියරොස්තාමි ඕනෑම මනුෂ්‍ය කොට්ටාශයකට වඩාත් සමීප ප්‍රේමය වගේ දෙයක් ගන්නේ. ඉතාලියේදි ජුලියට් බිනොචෙයි (Juliette Binoche), විලියම් ශිමෙලුයි (William Shimell) යූස් කරල සෙටිෆයිඩ් කොපි කරද්දී ජපානෙදී රින් ටකනාශියි (Rin Takanashi), ටඩාශි ඔකුනෝයි (Tadashi Okuno) යූස් කරලා සම්වන් ඉන් ලව් කරන්නේ මේ කිසිම ජාතියක් ඇතුලේ ප්‍රේමය මඟ නොහැරෙන නිසාම ඒ අස්සේ වැඩේ ප්ලේ කරගන්න පුලුවන් බව කියරොස්තාමි හොදටම දන්න නිසා..(?)! කොහොම උනත් කියරොස්තාමි ප්‍රේමණීය හැඟීම වියලි රසයක් විදියට ගේන්න සමත් වෙනවා. වියලි වුණත් ඒක රසයක්.

මුනිවර ප්‍රේමය කියල මං මේ ඉන්ටර්ප්‍රිට් කරන්න හදන්නේ ජීවිතය ගැන තියන පරිනතකමත් එක්ක ජීවිතය දකින මිනිස්සු ප්‍රේම කරන විදියට. ඒක හරිම ගැඹුරුයි. ගොඩක් වෙලාවට අයිති කරගන්නේ නැතුව තමයි ප්‍රේම කරන්නේ. ප්‍රේමයේ ප්‍රධානම එකක් වෙන්නේ අයිති කර ගැනීම. ඒ කෑල්ල අයින් කරගත්ත ප්‍රේමයක් කියන්නේ ප්‍රේමයට වඩා එහා යන එකක්. ඉතිං මේ අයිතියක් නොකියන හැඟීම වෙනුවෙන් සමහර මිනිස්සු ගොඩක් දේවල් කැපකරනවා. 'ලයික් සම්වන් ඉන් ලව්' කියන්නේ එහෙම මිනිහෙක්ගෙ කතාවක්.

ෆිල්ම් එකේ දේශපාලනික ලේයර්ස් ගොඩකට යන්න පුලුවන්. ඒත් මං කැමති මේ වියලි ලවු එක අස්සේ ජීවත් වෙන්න. පැණි බේරෙන එකට වඩා මේ වියලි කමට මං ආසයි. වයසක මනුෂ්‍යයෙක් සල්ලී දීලා තරුණියක්ව ගන්නවා. ඔහු ඇයව අරං තියෙන්නේ සෙක්ස් වලටම නෙවේ. ලඟින් තියා ගන්න; අතින්වත් නොඅල්ලා බලං ඉන්න; නිදහසේ කතා කරන්න; කතා කියන්න; තමන්ට මඟ හැරුණු තැන් වලට ආයේ යන්න, වගේ දේවල් වලට. හැබැයි ඇයට ඒක එහෙම නෙවේ. ඇයට ඩීල් එකක්. ඇය ඩීල් එකට එන්නේ මාර ස්මූත් පාරක නෙවේ. ඇයට ප්‍රශ්න කන්දරාවක් තියනවා. නමුත් මේ වයසක ප්‍රොෆෙසර් ස්මූත්ලි ජීවත් වෙන්නේ. මේ අලුත් රිලේශන්ශිප් එක පටන් ගන්න ඔහු හදන්නේ මේ ස්මූත් එක තුලින්.

මේක බලාගෙන යද්දී හඳගමගේ 'ඇගේ ඇස අග' මතක් උණා. ඒකත් ටිකක් මේ වගේ. ඒ කාලේ හඳගමට තිබ්බ විවේචනයක් තමා ඇගේ ඇස අග කොපි එකක් කියලා. ඒත් ආර්ට් අස්සේ කොපි කරන්න බෑ. ඉන්ස්පයර් වෙන්න විතරයි පුලුවන්. එක ආර්ට් පීස් එකක් දිහා බලාගෙන ඒ ටයිම් ඇන්ඩ් ස්පේස්වලට ඒවගේම කැරැක්ටර්ස් දාලා කරත් ඒක වෙනම නිර්මාණයක්. මුල් එක නෙවේ. ආර්ට් පීස් දෙකක්.

මේ ‍ෆිල්ම් එකේ පරිනත ප්‍රේමවන්තයා වගේ කියරොස්තාමිගේ සිනමා භාවිතය හරිම පරිනතයි. ක්‍රාෆ්ට් එක හරිම නීට්. සවුන්ඩ්ස්, එඩිටින් වගේම සිනමැටොග්‍රැ‍ෆි ගොඩක් ඉහල තැනක තියනවා. හරිම නිදහසේ ඩිරෙක්ට් කරල තියනවා කියල දැනෙනවා.

මතුපිට මුනිවර ප්‍රේමවන්තයෙක් ඉදිද්දී ඇතුලින් හම්බවෙනවා ට්‍රැඩිශනල් (බහුතරයක්) ප්‍රේමවන්තයා. මුනිවර ප්‍රේමය මාර වෙන්නේ මේ ට්‍රැඩිශනල් එක තියන නිසා. ට්‍රැඩිශනල් එක ඇතුලේ නිදහස දීම වෙනුවට හැමතිස්සෙම වෙන්නේ අල්ල ගැනීමක්. ඉතිං මේ අල්ල ගැනීම මාර වේදනාවක්. දෙපැත්තටම. ප්‍රේමය එහෙමයි කියල කෙනෙක්ට තර්ක කරන්න පුලුවන්. කෙනෙක්ට කියන්න පුලුවන් ලිංගික ශ්‍රමිකාවක් ලෙස දැනුනම පෙම්වතාට ඒක දරා ගන්න බැරි බව. ඒත් ලිංගික ශ්‍රමිකාව රැකියාවක් මිසක් එතන සෙක්ස් කරන හැමෝම එක්ක ප්‍රේමයෙන් වෙලීමක් වෙන්නේ නෑ. එතන ප්‍රේමයට වඩා ගොඩක් පුංචි දෙයක් වෙන්නේ.

පහුගිය කාලේ ලංකාවේ ඊනියා ජනමාධ්‍ය හරහා කතාවුණු ලිංගික ශ්‍රමිකාවක් ගැන හරි අපූරු කතාවක් තියනවා. ; ඇයගේ බිස්නස් එක කරන්න වෙන්නේ මොබයිල් ෆෝන් එකක් යූස් කරන්නේ නැතුව. පාරේ ඉදන් නැත්නම් වෙන වෙන කනෙක්ශන් හරහා තමයි ඇය තම රැකියාව කරන්නේ. ඇයගෙන් ඇහුවම 'ඇයි ෆෝන් එකක් යූස් කරන්නේ නැත්තේ?' කියලා ඇය කියන්නේ, 'මගේ හස්බන් කැමති නෑ මම ෆෝන් එකක් පාවිච්චි කරනවට. එතකොට එයා හිතනවා මං වෙන මිනිස්සු එක්ක මල් කඩාවි කියලා.' ඇයගේ ප්‍රකාශය ඒ වගේ එකක්. ඔහුගේ බලාපොරොත්තුව ඇය කාත් එක්කවත් ප්‍රේමයෙන් නොවෙලී රැකියාව කරන එක. ඒක මාර දියුණු තත්වයක්; සමහර පශ්චාත් නූතන රැඩිකල් වාදීන්ට වඩා. 

සම්වන් ඉන් ලව් වල ඒ තත්වයට වඩා වෙනස් වෙන්නේ ප්‍රේමවන්තයා කලහකාරීයි. ඉතිං තරුණිය නිකම්ම අර මුනිවර ප්‍රේමයට ළං වෙනවා. ඒත් හදිස්සියේම ඒ මුනිවර ප්‍රේමයට මරු පහරක් වදිනවා අවකාශය තුළ. සැබෑ ප්‍රේමයක් කවදාවත් හමු නොවී වෙන වෙනම පවතීවි. ඒකට වයස, කාලය වගේ දේවල් තවදුර වලංගු නෑ කියල අපිටම දැනෙන කාලෙක 'ලයික් සම්වන් ඉන් ලව්' අපිට හමුවේවි. මේ ඒ සිනමා ප්‍රේමය වෙනුවෙන් පුංචි කොමාවක්. තාවකාලික නැවතුමක්.

දැන් වෙලාව රෑ 11 ට කිට්ටුයි. බිම නොපෑගෙන මිදුල් තියන අපාර්ට්මන්ට්ස් අස්සෙන් පේන ඉන්දියන් සාගරයෙන් එන කරදිය රහ සීතල හුළං වැදි වැදි මරීන් ඩ්‍රයිව් එක කෙලවරේ බිමක් නොපෑගෙන බැල්කනි එකකට වෙලා නිකොටීන් මිශ්‍ර ඩන්හිල් දුම පෙනහලු වලට ඇද ගන්න ගමන් අමරසිරි පීරිස්ගේ කටහඬ හදවතට ඇහෙනවා; 
මගේ පුංචි රෝස මලේ 
මමයි නුඹේ වියපත් බඹරා 
නුඹ හීනෙන්වත් නොදකින කුමරා.....

-තරිඳු ජයරත්න

Saturday, October 7, 2017

එක්තරා යුගයක් නිශ්චිතවම අවසන් වී ඇත ?



මේක ලියන්න පටන් ගනිද්දී හරියටම වෙලාව උදේ 2.48 යි. දෙරණ ෆිල්ම් අවෝර්ඩ්ස් ඉවරවෙලා පැය කීපයයි. අපේ DFA එකෙන් සැලකිය යුතු පිරිසක් බම්බලපිටියේ අත්ලාන්තිකා එකේ සෙට් උනා අවෝර්ඩ්ස් සෙරමනි එකෙන් පස්සේ. මොරසූරන වැස්සේ අම්බානෙකට බීලා අපි කතාවුනේ දෙරණ ගැන. අවෝර්ඩ්ස් සෙරමනි එක ගැන. එතන හිටපු ඔක්කොගෙම වගේ ෆිල්ම් එකක්, ශෝර්ට් ෆිල්ම් කෝනර් එකට නොමිනේට් වෙලා තිබ්බා.

ඒ ඒ කතා කොහොම උනත් මං හිතන්නේ දෙරණ මේ කරන වැඩේ හොද නරක වලට වඩා මේ මොහොතේ ප්ලේස් වෙන තැන මාර ඉන්ට්‍රස්ටින්ග්. ඉස්සෙල්ලාම ජීවිතේ එක් වරක් පමණක් හම්බවෙන යාවජීව සම්මානේ දෙන්නේ ධර්මසේන පතිරාජට. පතී ඉතිහාසේ ඇතුලේ ලොකු වැඩකොටසක් කරපු මාර පොරක්. ඒත් දැන් පතී ඉන්නේ හරිම දුර්වල අස්තානයක. දෙරණෙන් කරන පළවෙනි වැවේ වෙන්නේ, "පතී, ඔයා ඇතුලු ඔයාගේ ජෙනරේශන් එක දැන් රිටයර් වෙන්න කාලේ ඇවිත්" වගේ එකක්. ඒක මාර ඔපනින් එකක් දෙරණ දැනගෙන හෝ නොදැන කරත්.

ඊට පස්සේ ඕපන් වෙන්නේ ශෝර්ට් ෆිල්ම් කැටගරි එක. ඒක ප්‍රසන්‍ට් කරන්න එන්නේ මලිත් එක්ක තිසර. තිසරගෙ ෆිල්ම් එක දුවලා ඉවරවෙලා මලිත්ගෙ එක දුවන්න ලෑස්තියි. තිසර සහ මලිත් ලංකාවේ ඕඩියන්ස් එකට අලුත්ම දෙන්නෙක්. ඒදෙන්නා තමයි බෙස්ට් ශෝර්ට් ෆිල්ම් එකට අවෝර්ඩ් එක දෙන්නේ. තවදුරටත් මේ සිනමා යෞවනය තියෙන්නේ මේ තාරුණ්‍ය අතරේ කියලා ඔවුන් දෙන්නා අවෝර්ඩ් එක දෙනවා. මලිත්ගේ ලස්සන ඉන්ට්‍රෝ එකක් එක්ක.

ඊට පස්සේ ජගයි සාරංගයි සැරින් සැරේ නනා කරන ප්‍රසන්ටේශන් එකත්, ප්ලෑනිං නැති ෆ්ලෝ එකක් එක්ක වැඩේ දියාරූ වෙනවා. පරණ කතන්දර ටිකක් ආයේ ඇහෙන්න පටන් ගන්නවා. අවොර්ඩ් සෙරමනි එකට සෙට් වෙන්නෙම නැති ඉවෙන්ට්ස් ටිකක් එක්ක.
ඔය අස්සේ අජියට එනවා පිට පිට අවෝර්ඩ්ස් දෙකක්. ලංකාවේ අවෝර්ඩ්ස් සෙරමනි එකක අජියට එනවා. මේක මේ ලංකාවද කියල හිතා ගන්න බැරි තරමට ඒක ගොඩක් ඈත. ඒ වගේම ගොඩක් මෙහා එන්න තිබ්බ ඇප්‍රිශියේට් එකක්. අජියාට මොකක් හරි කියන්න ජගා පරිස්සම් වෙද්දී සාරංග ඒක කියනවා. අජියා මයික් එකට තට්ටු 4 ක් දානවා. දැන්වත් ඇහැරෙන්න වගේ එකකින්. අජියා වයස උනාට තාම තරුණයි.

රිතිකාගේ ඉන්වෝල්මන්ට් එක මං මෑත කාලීනව දැකපු සීරියස්ම එකක්. හඳයගෙ නම ඒකට ගොඩක් බැක්ග්‍රවුන් එකක් දුන්නත් රිතිකගෙ එළැඹීම මරු. ස්වර්ණා වගේ සිනමාවේ පට්ට එක්ස්පීරියන්ස් තියන කැරැක්ටර් එකක් එක්ක රිතිකා 'ඇගේ ඇස අග' එකේ ස්වර්ණව පරයා යනවා මට නම්. ස්වර්ණා සිනමාවේ ශෘංගාරය ගේන ගිනි සිලුව උනා නම් ඒ කාලේ දැන් වෙද්දී ඇය නිවිච්ච හුලුඅත්තක්. ඇයගේ ඒ නිවිච්ච හුලුඅත්තේ හැඟීම ගන්න බැරුව යනවා රිතිකා ඉස්සරහා. ස්වර්ණා 'ඇගේ ඇස අග' එකේ "ස්වර්ණා මල්ලවාරච්චී" කියන ටැග් එක මිසක් ඇක්ටිං කැපෑසිටි එකක් අරං එන්නේ නෑ ෆිල්ම් එකේ. ඒ නිසා රිතිකා හරි පරිස්සම් ගමනක් යන්න තියනවා ඒ අසීමිත සීමාව අස්සේ.

විශ්වජිත්. මෝටර්බයිසිකල් සිනෙමැටොග්‍රැෆි. අපි ජීවිතේට වඩා සිනමාව ලොකුයි කියලා විශ්වාස කරපු කාලයක් තිබ්බා. පස්සේ තේරුනා ජීවිතේ එක් අංශුවක් විතරයි සිනමාව. විශ්වජිත් ඒ අංශුව මාර විදියට එක්ස්පෑන් කරනවා, ජීවිතය කියන කැමරාව ඇතුලේ. තව දුරටත් ප්‍රවීනයෝ වලංගු වෙන්නේ නෑ කියලා විශ්වජිත් අපිට තේරුම් කරනවා. තවදුරටත් ලෙජන්ඩ්ස් බිල්ඩ් වෙන්නේ නෑ කියලා විශ්වජිත් තමන්ගේ කැමරාවෙන් කියනවා. පොඩි මොබයිල් ෆෝන් එකේ ඉදන් ඇරි ඇලෙක්ස් එකක් දක්වා කැමරාවට වඩා ඇහැ වටිනවා. පරන තියරීස් වලට වඩා තමන්ගේ ප්ලෙශර් එක මාරයි කියලා විශ්වජිත් කුරුනෑගල ඉදන් කොළඹ ඇවිත් අපිට කියනවා.

මං ආසම කැටගරි එක 'සිනමා ඔෆ් ටුමෝරෝ'
සිනමා ඔෆ් ටුමෝරෝ වල ජූඩ්ට මෝස්ට් ප්‍රොමිසින්ග් ඩිරෙක්ටර් යාම ගැන කිසිම විවාදයක් නැහැ. ඈශ්ලී, බූඩී, ඉන්දික, අනුරුද්ධ සහ යශෝධාට ජූඩ් තේරීම හෝ නොතේරීම ගැන මං ඇත්තටම දන්නේ නෑ. හැබැයි එක දෙයක් දන්නවා. ටුමෝරෝ කැටගරි එකේ බෙස්ට් ඩිරෙක්ශ්න් යායුතුව තිබුනේ ජූඩ්ට බව.

බහුචිතවාදියා, ෆිල්ම් එකක් විදියට මාලක්ගෙ එළැඹීම. පරිස්සමට වියපු කතාවක්.

සමනලිය. හිතුවක්කාර යුවතිය. ස්වර්ණට ගියපු ඒ අවෝර්ඩ් එක ගැන නම් මට තියෙන්නේ ජූරී එකේ සහ දෙරණේ ශුශුම්නාවේ අවුලක්. ස්වර්ණා මාර නිලියක්. මං තාමත් ලව් කරන. ඒත් 'ඇගේ ඇස අග' ස්වර්ණට නම් නෙවේ. අද ස්වර්ණා එදා ස්වර්ණාගෙන්ම අහල බල්න්න. ජූරී එක තමන්ගේ හෙලුව වහ ගන්නවා සමනලීට ස්පෙශල් ජූරී අවෝර්ඩ් එකක් දීලා. හැබැයි ඒ ජූරී එක බය වෙනවා ස්වර්ණව කපලා සමනලීට බෙස්ට් ඇක්ට්‍රස් දෙන්න. තාම ඒ ජූරී එක පිළිගන්න අදිමදි කරනවා ස්වර්ණව පරයා යන නිලියෝ ඉන්නවා කියලා.

දස්සා. දස්සා. දස්සා. ඌ ගැන මොන කතාද. බෙස්ට්ඇක්ටර් නොමිනේට් වෙනවා එකපාර ෆිල්ම් දෙකකට. හම්බවෙනවා පට්ට ඕල්ටර්නේටිව් ෆිල්ම් එකකට. ෆ්‍රැන්ජිපානී එකේ ඇක්ටින් වලට. ඒත් උඹේ ඇක්ටිං මට හම්බ උනේ ෆ්‍රැන්ජිපානී වලට වඩා මෝටර් බයිසිකල් අස්සේ. පිස්සෙක්ට අවෝර්ඩ් එක හම්බ වෙන්න ඕනී පිස්සු විදියට. හැබැයි ඒක පිස්සුවක්ම වෙන්න ඕනී. වෙන පර්සනල් තියරීස් අස්සේ නොවී. ඒකයි බං උබේ අවෝර්ඩ් එකට මෙච්චර චියර් එකක් එන්නේ. ගාමිණී ෆොන්සේකා, විජේලා, රවීද්‍රලා ලොකු නෑ බං උබේ කැපෑසිටි එක අස්සේ. ජෝ, මහේන්ද්‍ර, කලං පොඩිත් නෑ උබේ කැපෑසිටි එක අස්සේ. හැබැයි උඹ දස්සා.

මෝටර් බයිසිකල් ශමීර. ඒක ලේසියි ඉන්ට්‍රෝ එකකට. උඹට කියන්න තියෙන්නේ "බයයි බං" කියලා විතරයි.

හඳයා. හැමදාමත් අප්ඩේට් වෙන කොල්ලා. බෙස්ට් ෆිල්ම් අවෝර්ඩ් එක ගන්න හඳයා පොරගෙ කතාවෙන් අන්තිමට ඒක එලියට ගන්නවා. ඒ යුගය අවසන්. මේ තරුණ යුගයකට. හඳගමත් එක්ක දෙපැත්තේ හිටියේ, ශමීරයි විසාකේසයී. දෙන්නගෙම පළවෙනි ෆීචර්ස්.

මං මේ ලිව්වේ ආදරය කරපු දේවල් ගැන විතරයි. ආදර නොකරන දේවල් මේ දෙරණ අවෝර්ඩ්ස් එක්ක නෙලුම් පොකුනෙම වැලලිලා යනවනම් හොඳයි. තරහකට නෙවෙයි. අලුත් නෙලුමකට පිපෙන්න.

එක්තරා යුගයක් නිශ්චිතවම අවසන් වී ඇත.
නැත..! තවමත් ප්‍රේත කුම්භාණ්ඩයෝ තැන තැන ඉඳ හිට සැරි සරති.
සමහර වෙලාවට සොහොන් කොත් වල පරණ ඉමිටේශන් මල් පිපෙනු ඇත. ඉමිටේශන් මල්වෙනුවට නැවුම් අලුත් මල් පිපෙන්න ඉඩ හරිමු.

-තරිඳු ජයරත්න

Tuesday, September 12, 2017

Amour - 2012


ප්‍රේමය ගැන අර්ථ දැක්වීමක්...

‘As we know, Love needs re-inventing’
-Arthur Rimbaud

බදියුත් එක්ක නිකොල්ස් ට්‍රොන්ග් ආදරය ගැන හරි අපූරු සංවාදයකට යනවා In praise of Love පොතත් එක්ක. ඒ පොත පටන් ගන්නේ එහෙම ක්වෝට් එකකින්. පොත සිංහලට ට්‍රාන්ස්ලේට් කරනවා කෞශල්‍ය සහ විදුර, 'ප්‍රේමය පසසනු වස්' නමින්. කෞශල්‍ය සහ විදුර ඒක ට්‍රාන්ස්ලේට් කරනවා මෙහෙම;

'අප දන්නා පරිදි ප්‍රේමය යළි නිපදවීම අවැසිව ඇත.'
-ආතර් රිම්බෝර්ඩ්


ප්‍රේමය ගැන පොඩි ඩිස්කශන් එකක්..

පහුගිය දවසක ඔ‍ෆිස් එකේ මිතුරියක්, සිගරට් එකක් බිබී චැට් එකක් දාන ගමන් මරු කතාවක් කිව්වා. ඇය නියොජනය වෙන්නේ නයිට් ක්ලබ් යන, කන බොන නිදහස් ජීවිතයක්. ඇයගේ බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක  මට ඒක සීරියස්ව දැනුනා. ඇය කියනවා, 

"දැන් මිනිස්සු ආදරය කරන්න දන්නේ නෑ. අෆය(ර්) එකත් බ්‍රේක් වුනත් 'සෝ වට්?' කියල පහුවදා වෙන කෙනෙක් එක්ක ඉන්නවා. ඒ වෙනුවෙන් විඳවන්නේ නෑ." 

වගේ අදහසක්. මිනිසුන්ගෙන් ආදරය/ජීවිතය ගිලිහෙන එක තමයි ඇයගේ අදහස විදියට එලියට එන්නේ. මට හම්බවෙලා තියන පට්ට මානවවාදී ගැඹුරු ‍ෆිලෝසො‍ෆිත් එක්ක ඉන්න ගැහැණියට වඩා ඇය සරලව අවංකව කියපු අදහස මරු. ඇය ඇයට අවංකයි. මමත් විශ්වාස කරන දෙයක් තමයි මේ මොහොතේ මිනිසුන්ගෙන් ආදරය ගොඩක් ඈත් වෙලා කියන එක. හැමෝම ඕල්ටර්නේටිව් එකක් තියාගෙන ඉන්න එක. ඒක මේ සිස්ටම එක ඇතුලේ ඕකේ වෙන්න පුලුවන්. ඒත් ආදරය වෙනුවෙන් දුක් විදිනවා කියන්නේ ඒ මනුශ්‍යයට ජීවිතයක් තිබිලා කියල දැනෙන්න පටන් ගන්නවා. ඒක මරු.


ප්‍රේමය ගැන සිංදුවක්...

සෝමතිලක ජයමහ ප්‍රේමය ගැන මෙහෙම කියනවා. මේ පෙම්වතා ජීවිතේ අවසාන කාලය ගත කරන්නේ. ඔහුට මෙහෙම දැනෙනවා ඇති.

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ළබැඳි සිත්මල් පරව යන විට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්මය
සසර මඟ දකිනා...

බැඳුණු සෙනෙහස නොවන නිම්හිම්
ඇතද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යා යුතුය ඒ නියත නික්මන

සියලු බැමි සිඳිනා...


ප්‍රේමය ගැන ‍ෆිල්ම් එකකට ප්‍රෝලොග් එකක්...

සොබාදහම විසින් ක්‍රියේට් කරපු ක්‍රියේටිව්ම කන්සෙප්ට් එක 'ප්‍රේමය' වෙන්න පුලුවන්. ඒක ඒතරම්ම ක්‍රියේටිව්ලි හැම ලේයර් එකටම ගිහින් තියනවා. සමහරු පොඩි කාලෙක ප්‍රේමයක් වෙනුවෙන් මුළු ජීවිත කාලයම දුක් විඳිනවා, ඒක වෙනුවෙන්ම ජීවත් වෙනවා. තවත් කෙනෙක් අසම්මත පෙම් කතාවක් හිතෙ තියාගෙන පැසව පැසව ඉන්නවා. තවත් කෙනෙක් අහිමි පෙමක් වෙනුවෙන් බලන් ඉන්නවා. ඒ අතරෙ හිමි වුණු (විවාහ වුණු) දෙන්නෙක් ඒ හිමිවීම පිළිබඳ/ නොගැලපීම් පිලිබඳව පසු තැවෙනවා. මේ පසුතැවීම්-වේදනාත්මක ස්මර අස්සේ සමහර පෙම්කතා බාදක කරදර මැද ඔහේ ගලාගෙන යනවා. ජීවිතේ අවසාන කාලේ වෙනකම් එහෙම ප්‍රේමයක් ගලාගෙන ගිහින් ගඟ මුහුදෙන් කෙළවර වෙනවා වගේ එක්තරා නිමාවකට එනවා. එහෙම මහ මුහුද තරනය කරන්න ළං වෙන ප්‍රේමයක් ගැන 2012 ඔස්ට්‍රියන් ජාතිකයෙක් ‍ෆිල්ම් එකක් කරනවා. ‍ෆිල්ම් එක Amour. ‍ෆිල්ම් එක කරන්නේ මිචෙල් හැනෙකෙ.


‍ෆිල්ම් එකක් ගැන ප්‍රේමයක්...

ටේස්ටින් කියන කන්සෙප්ට් එකේ නැත්නම් ආර්ට් කියන කන්සෙප්ට් එකේ හරි වින්දනයක් දෙන දෙයක් විදියට මට උඩටම එන්නේ ‍ෆිල්ම්. (ෆෝර්ම් එකක් විදියට) ජීවිතේ ගොඩක් තැන්වලට එක්කගෙන ගියේ ‍ෆිල්ම්ස්. ආත්මය තුළ තිබ්බ කුණු ගොඩවල් හොයලා දුන්නේ ‍ෆිල්ම්ස්. 

එහෙම වුණු ‍ෆිල්ම්ස් වලත් උඩම ‍ෆිල්ම් එකක් විදියට "අමෝර්" එනවා. ජීවිතයේ තියන සුන්දරම හැඟීම ප්‍රේමය වෙද්දී, ඒ ප්‍රේමය පරිබාහිර හැඟීමක් විදියට මගේ ඉස්සරහට ගේන ‍ෆිල්ම් එකක් තමා අමෝර්.


අමෝර් ඇතුලේ ප්‍රේමය...

අමෝර් වචනේ තේරුම ලව්. ලව් ඇතුලේ කොහොමද ප්‍රේමයක් තියෙන්නේ. දෙකම එකයිනේ. ඉතිං අමෝර් කියන්නේ ආදරයමතමා. ඇතුළත් එළියත් දෙකේම සෙනෙහස. වසර ගානක ප්‍රේමයක් ඇතුලේ දෙන්නෙක් එකට ඉන්නව කියන්නේ දෙන්නගේ කෙමිස්ට්‍රි එක වැඩකරනවා හොදටම. හැබැයි අවුරුදු 40ක් 50ක් එකට ඉදල දැන් වෙන් වෙන්න ලඟ, මරණය ලඟම එන වයෝවෘද පෙම්වතෙකුයි පෙම්වතියෙකුයි. ජීවිතේ දෙන්නා එක්ක ගොඩක් තැන් වල ගිගින් අවසානයේ සීතල මරණය වෙත ඔවුන් ලඟා වෙන්නේ උණුසුමෙන් තුරුල් වෙලා. තව ටික කාලෙකින් උණුසුමින් ඈත් වෙලා සීතල වෙලා ගන්න වෙනවා දෙන්නට, තනි තනිවම. කොච්චර එකට හිටියත් දෙන්නට යන්න වෙන්නේ තනි තනිවම. ඉතිං මේ වෙන් වෙන්වීමේදී දෙන්නගෙන් එක්කෙනෙකු අතිශය වේදනාවෙන් පෙලෙනවා. මේ ඔවුනොවුන්ගේ ගැලවීමයි (යුතනෝසියා එකක්). හොදටම වැඩකරපු කෙමිස්ට්‍රි එක දැන් ප්‍රතික්‍රියාවකින් ලිහිහෙන්න යනවා. ප්‍රතික්‍රියාවට අවශ්‍ය ඔක්සිහාරක මරණය විසින් උරා ගනිද්දී, ප්‍රතික්‍රියාවට අවශ්‍ය බාහිර සාදක ‍ෆියන්සේ විසින් ලබා දෙනවා. මේ(අමොර්) ඒ ප්‍රතික්‍රියාවේ තුළිත නොවූ සමීකරණයයි. 


ආර්ට් එකක් ඇතුලේ ආර්ට් එකක්..

අමොර් ‍ෆිල්ම් එක ප්ලේ වෙන අපාර්ට්මන්ට් එකේ තැනින් තැන තියන පේන්ටින්ග්ස් 6ක් එක වෙලාවකදී ක්ලෝස්-අප් වලින් පෙන්නනවා. ඇට්මොස්පියර් සවුන්ඩ් ට්‍රැක් එකක් එක්ක පේන්නේ ඒ චිත්‍ර ටික විතරයි. 
ඒ චිත්‍ර ටික ප්ලේ වෙන්න පටන් ගන්නේ දෙන්නා අතර වයලන්ස් එකක් ස්පාක් වුණු මොහොතින් පස්සේ. ජෝර්ජ්, ඈන්ගේ කනට ගැහුවට පස්සේ. චිත්‍රෙන් චිත්‍රෙට විවිධ පැත්තට ඉන්ටප්‍රිට් කර ගන්න පුලුවන් නිසා පේන්ටින්ග්ස් ටික විතරක් මෙහෙම ගමු.








ආදරය වෙනුවෙන් අත්හැරීම...

ආදරය කියන්නේ හරිම ආර්මාර්ථකාමී හැඟීමක්. මතුපිටින් බැලුවම ආදරය කියන්නෙම අයිතිකර ගැනීමක්. ඒත් අනෙකාගේ යහපත/ආදරය වෙනුවෙන් අයිතිය කැපකරන්න පුළුවන් නම්? අනෙකාගේ වේදනාව අඩු කරන්න ඇය හෝ ඔහුව මරා දමන්න පුලුවන් නම්?
ආදර වැඩි නිසා ඇත්තටම පෙම්වතිය හෝ පෙම්වතා මරණ්න පුලුවන්ද?
අමොර්, ප්‍රේමණීය මරණයක් වෙත.

-තරිඳු ජයරත්න

Tuesday, July 18, 2017

වැලිකතර - 1971



-------------------------------------------------------------------------------------------------
පසුවදනක් නොමැතිව මව්බිමෙහි සති දෙකක් තිස්සේ පළ නොකළ මේ ආර්ටිකල් එක, යල්පැන ගිය පසු නැවත පෙරවදනක් නොමැතිව මෙසේ  පළ කරමි.
-------------------------------------------------------------------------------------------------

වැලිකතර ඩිජිටල් වලින් රී ටච් කරලා ආයේ රිලීස් වුණා. වැලිකතර මුලින්ම රිලීස් වෙන්නේ ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගය කියලා හඳුන්වන 70 දශකයේ මුල. දැනට අවුරුදු 40 කටත් එහා. නිහාල්සිංහගේ පලවෙනි ෆීචර් ෆිල්ම් එක වගේම, ලංකාවේ පලවෙනි සිනමාස්කෝප් (වයිඩ් ස්ක්‍රීන්) ෆිල්ම් එක වැලිකතර.

වැලිකතර අස්සේ ඉන්නේ ජෝ විතරයි. එහෙන් මෙහෙන් තිස්සත් පෙනී නොපෙනී යනවා. අධ්‍යක්ෂක කතෘ වුණු සිනමාවක් මට හම්බවෙන්නේ හඳගමගෙන් පස්සේ. 70 දශකය සිනමාව කොයිතරම් ඉන්ඩස්ට්‍රියක් විදියට ඉහළින් තිබ්බත් ඒ හැම ෆිල්ම් එකකම වගේ ප්‍රධාන කැරැක්ටර් එකක් හරහා තමයි ෆිල්ම් එක ගොඩ දාගන්නේ, අධ්‍යක්ෂක්ගේ අයිඩියෝලොජි එකට වඩා. ඒ කාලේ අධ්‍යක්ෂකට බැහැ ප්‍රකාශනය ගොඩක් ප්‍රභලව ගේන්න නලුවා හෝ නිලිය ඉස්මතු නොවී. වැලිකතරෙත් අන්තිමට උනේ ඒක. ගාමිණී ඒ කාලේ ඕඩියන්ස් එකට වැඩ කරත් දැන් වෙද්දී හරිම නීරසයි ඒ එළැඹීම. ගාමිණී වගේ පීචං ඇක්ටින් කැපෑසිටි එකක් අස්සේ ජෝගේ ඒ එළැඹීම මරු. ඒක අදටත් වලංගුයි. මම බලපු ගාමිණීගේ හැම ෆිල්ම් එකකම වගේ ගාමිණී බැරි වෙනවා චරිතයට අනන්‍ය වෙන්න. ගාමිණී නලුකම ඇඟට සහ හිතට ගන්න නිසා චරිතය ඈතට ගිහින්. ජෝ නලුකම ඈතට යවන නිසා චරිතය ජෝට ඇවිත්. ඒ නිසා හැමදාම ජෝ, කලං ඉස්සරහ ගාමිණී අහෝසි වෙලා යනවා. ගාමිණී සිනමා සක්විති වෙන්නේ ඉංග්‍රීසි සක්විති (රණසිංහ) වගේ දෙයකින්. ඇත්තටම ගාමිණීගේ ඇක්ටින් මට එදා ඉදන්ම මෙලෝ රහක් නෑ.

70-80 සිනමාව කතන්දර කීමේ මාධ්‍යක් විදියට ගොඩක් එහා තැනක තියනවා. වැලිකතර වගේ එකක් ගත්තත් 'රාමායණය' ඉන්ස්පිරේශන් එකක් විදියට තියාගෙන අබේසේකර ගේන ස්ටෝරි එක මරු. රෙස්ටොරන්ට් එකේ සාරී කතාව වගේ මෝඩ ස්ටීරියෝ ටයිප් සීන්ස් සහ ඩයොලොග් කිහිපයක් හැරුනම ස්ක්‍රිප්ට් එකක් විදියට වැලිකතර දියුණුයි. හැමදාමත් ස්ක්‍රිප්ට් එකෙන් කතාව ගොඩ දාගන්න තිස්ස අබේසේකර කොහොමත් දක්ෂයි. ඒත් ඔහු ඩිරෙක්ට් කරන්න ගියාම නා ගන්නවා. කරුමක්කාරයෝ, විරාගය වගේ දේවල් වලට උනේ ඒක. වෙලාවට මේක නිහාල්සිංහ ඩිරෙක්ට් කරන නිසා මේ තරම් හරි බේරිලා තියනවා.

වීරයා හැමවිටම ජය ගන්න ස්ට්‍රක්චර්ඩ් සිනමාවක් තමා ගොඩක් වෙලාවට මාස් ඕඩියන්ස් එකට වැඩ කරන්නේ. හරියට සිඩ්ෆීල්ඩ් වගේ. ඉතිං මේක එහෙම මාස් ඕඩියන්ස් එකේ ප්ලේ වෙන්නේ කොහොමද කියන එක සෑහෙන කතා කලයුතු සහ මාස් ඕඩියන්ස් එකට ‍ෆිල්ම් හදන්න ඉන්න අලුත් සෙට් එක අල්ල ගන්න ඕනි දෙයක්. ඒ කියන්නේ වීරයා සහ ප්‍රතිවීරයා එකිනෙකා අතර දෝලනය කරන්නේ කොහොමද කියන එක සහ කියුරියෝසිටි එක ‍ෆිල්ම් එක පුරාම අරං යන එක. අන්තිමට ‍ෆිල්ම් එක වටේ අරං ගිහිල්ලා හීනෙන්වත් හිතන්නේ නැති එන්ඩ් එකකට ගෙනියනවා.

ආයෙත් ‍ෆිල්ම් එකට ආවොත්, ගෝරිං කියන්නේ ටාර්ගට්ස් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින පොරක්. ඒ කියන්නේ මිනිහෙකුට ගන්න පුලුවන් පොසිටිව් ඉන්ස්පිරේශන් එකක් ගෝරිං මුදලාලි. හොද සහ නරක බෙදන්න වෙන්නේ ඒ ඒ සංස්කෘතියට අදාලව. මොකද හොද කියල පියෝ එකක්වත් නරක කියල පියෝ එකක් වත් නෑ. ඒක ඒ කාලෙට හා සංස්කෘතියට අදාල දෙයක්. ඉතිං ගෝරිං දුශ්ට කැ‍රැක්ටර් එකකට වඩා මට හම්බ වෙන්නේ සීරියස් හියුමනික් ක‍රැක්ටර් එකක් විදියට. ඇත්ත මිනිහෙක්, අපි වෙන්න ප්‍රාර්තනා කරන මිනිහෙක් ගෝරිං කියන්නේ.

හැබැයි වික්‍රම කියන්නේ සම්පූර්ණයෙන්ම ඔපසිට් කැ‍රැක්ටර් එකක්. යතාර්තයෙන් පැනලා දුවන, තමන් කැමති දේ සිස්ටම් එක නිසා ප්‍රතික්ශේප කරන පුද්ගලයෙක්. යුනිෆෝර්ම් එක කියන්නේ එහෙම මිනිහෙක්ට හොද පිටපොත්තක්. හරියට හාමුදුරුවෙක්ට සිවුරක් වගේ. මට පොලිසිය, හමුදාව සහ පූජ්‍ය පක්ෂය අතරේ ලොකු වෙනසක් නෑ. උන් තුන් දෙනාම වෙන ලීගල් ස්ට්‍රක්චර් එකක් වෙනුවෙන් පෙනී හිටින එක කරන්නේ. හමුදාව LTTE එකට ගහන තැන ඉදන්, ඊයේ පෙරීදා අන්තරේට ගහන තැන දක්වාම ඒ ගොල්ලෝ අතකොලු. මට LTTE එක ගැන තියන තරම්වත් අන්තරේ ගැන ප්‍රසාදයක් නැහැ. ඒත් මතවාදයක් පහර දීමකින් හෝ සමූල ලෙස ඝාතනය කිරීමකින් වහන එක මට එකඟ වෙන්න බැරි දෙයක්. ඒක ඊට වැඩිය මාතවාදීව ගොඩ නගා ගන්න ඕනි දෙයක්. එහෙම පහර දෙන ලේ පිපාසිත පොලීසිය සහ හමුදාව වගේම තමයි පන්සල් වල හාමුදුරුවරු. වෙන කෙනෙක් (ගෞතම) ගෙනා දියුණු දර්ශනයක් පුස්කාපු මොළ තියන එළුවන් වගේ පිරිසක් විසින් දැන් කියව කියව යනවා. මුලින් බණ පටන් ගන්නේ සියල්ල අත්හරින්න කියලා. ඒත් ඉවර කරන්නේ 'සිංහල ජාතිය' ‍රැකගෙන මිසක් අපි පස්ස බලන්නේ නෑ කියන අදහසින්. තමන් කරන්නේ මොකක්ද කියන අදහසක් නැති චීවරදාරී එළුවන් පිරිස සහ හමුදාව වෙනස් වන්නේ කවර ලෙසින්ද? ඒ වගේ ස්ට්‍රක්චර් එකක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් තමා වික්‍රම. තමන් වහගෙන තමන්ව දන්නේවත් නැති ගමනක් වික්‍රම යන්නේ. ඒත් ගෝරිං ඊට වඩා පොලොවේ පය ගහල ඉන්න කැ‍රැක්ටර් එකක්.

මම හැමතිස්සෙම කියන කතාවක් තමයි ඕල්ටර්නේටිව් නැත්නම් මේ සම්මත සමාජේට දරාගන බැරි කැ‍රැක්ටර්ස් ගොඩක් නිර්මාණ වල අවසානෙට මරල දානවා. ඒක ඒ නිර්මාණකරුවගේ යහපත වෙනුවෙන් කර ගන්න දෙයක්. නැත්නම් ඕඩියන්ස් එකට දරා ගන්න බැහැ ඒ කැ‍රැක්ටර් එක. මං හිතන්නේ ඒක නිර්මාණකරුවන්ගේ අසාර්ථකත්වයක්. ඔහුට බැහැ ඒ වෙනුවෙන් පෙනී හිටින්න. නිර්මාණකරුවත් අවසානෙට යෝජනා කරන්නේ වෙනස් උනොත් පවතින්න බෑ කියන පරනම අදහස. වැලිකතරේ ගෝරිංට වෙන්නෙත් ඒක. තිස්ස සහ නිහාල්සිංහ එකඟ වෙනවා ගෝරිං නැති කරන්න, වගේම ASP හාමුදුරුවෝ කියල පිටපොත්තෙන් වහන් ඉන්න වික්‍රමගේ සැබෑව එළිඋනු ගමන් මරලා දාන්න. හරිම ප්‍රාථමික සියදිවි නසා ගැනීමකින්. ලස්සනට වියපු ප්ලොට් පැදුර තමන් විසින්ම ආයේ ලිහල දානවා තිස්ස සහ නිහාල්සිංහ. අන්තිමට මම හෝල් එකෙන් එළියට ආවේ ඉවර වෙනකම් වියපු පැදුර වෙනුවට පන් ගස් ටිකක් විතරක් අරගෙන.

මං කියන්නෙ වැලිකතර වගේ පරන ආසියො ගහන එක දැන් ඇති. මොකද අලුතින් එන්න තියන ෆිල්ම් ලිස්ට් එක ගොඩක් දිගයි සහ ඒ ගොඩක් ෆිල්ම්ස් ඉහල මට්ටමක තියනවා. ඉතිං මේ පරණ වෙච්ච කාඩ් කූට්ටමක් තියාගෙන ඉන්නවට වඩා අලුත් පසල්ස් වලින් ගේම් ගහන තැනකට එන්න ඕනී. පරණ ‍ෆිල්ම් සෙට් එක ටොරෙන්ට්ස් හෝ DVD වලින් හරි එලියට දෙන්න. ආයේ ඒවා හෝල් වලට එනව කියන්නේ යාපනේ ගිහින් ෆ්‍රයිඩ් රයිස් කනව වගේ වැඩක්. සිනමාව 70 පහු කරගෙන දැන් ගොඩක් දුර ගිහින්. දැන් ඉතිං අලුත් සෙට් එකට හෝල් වල ඉඩක් දෙමු.


-තරිඳු ජයරත්න