Thursday, December 14, 2023

රහස් කියන කඳු - 2023

 

 

Gin & Tonic YouTube ​චැනල් එකේ ‘රහස් කියන කඳු’ ගැන තිබ්බ දීර්ඝ සංවාදයෙන් පස්සෙත් තව කතා කරන්න දෙවල් ගොඩක් ඉතුරුයි කියලා දැනුන නිසා තමයි මේක ලියන්න හිතුනේ. පොඩි audience එකක​ට යන්න තිබ්බ චිත්‍රපටියක් ‘කොඩි ගහ යට’ නිසා ලැබුනු free marketing campaign එක නිසා​ම විශාල ​ audience ​එකක​ට විවෘත වුනා. සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයට දුරස්​ථ යැයි සැලකෙ​න සිනමා ආකෘතියක් තිබ්බත් කොඩි ගහ යට එක්ක හිටපු ප්‍රේක්ෂ​ක පිරිසෙන් රහස් කියන කඳු නඟින සැලකිය යුතු පිරිසක් අපිට දකින්නට ලැබුනා. ඕලාරික, චාටර් රජ-දේව කතා බල බල ඉන්න audience එකට මෙහෙම ෆිල්ම්ස් ලංකාවේ හැදෙනවා සහ හදන්න පුලුවන් නේ කියන ත්‍රිල් එක ඒකෙන් ලැබුනා. 

 



රහස් කියන කඳු ගැන දේශපාලනික කියවීම් ගොඩක් දැන් දැන් පත්තු වෙන නිසා මට ඒ දේශපාලනික කතාවම කතා කරන්න ඕන කමක් නෑ. කොහොමත් ම​ට ඒ දේශපාලනික කතාව ‘එච්චර’ සෙට් වෙන්නේ නැතිකමකුත් තියනවා. ඒ දේශපාලනික ‘කෑල්ල’ පැත්තකින් තිබ්බම මට ලැබුනු ත්‍රිල් එක තමයි මං මේ කියන්න යන්නේ. ඒ වගේම Acting, Cinematography, Editing, Production design ​ගැනත් ඕනි තරම් කතා වෙන නිසා ආයෙත් එ් ගැනත් කතා නොකර ඉන්නම්.

 

නවකතාවක කතන්දරය කියන්​න ‘අකුරු’ කියන tool එක use කරනවා වගේ, ෆිල්ම් එකක කතාව කිය​න tool එක වෙන්නේ, ‘Visuals සහ Sounds’. හැබැයි මං මේ කතාව කියලා අදහස් කරන්නේ ‘අපි කතාබහ කර​න භාෂාවෙන්’ කියන්න පුළුවන් කතාව නෙවෙයි. Visuals සහ Sounds පාවිච්චි කරලා පැය එක හමාරක් තිස්සේ අපිව අරං යන trip එක ගැන. ශ්‍රී ලංකාවේ හැදෙන ගොඩක් ෆිල්ම්ස් ‘අපි කතාබහ කර​න භාෂාවෙන්’ කියන්න පුළුවන්. ඉතිං එහෙම කියන්​න පුළුවන් නම් එච්චර වියදම් කරලා ඇයි ​ඒ ෆිල්ම් එක ​හදන්​නේ? ‘අපි කතාබහ කර​න භාෂාවෙන්’ ඒ​ක කියලා දාන්න තිබ්බා. 

 

ඒ වගේම අපේ සමහර ෆිල්ම්ස් තිබ්බා film language එකක් විදියට ගොඩක් rich. ඉතිං ඒවා සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයෙන් ඉබේම ඈත් වුනා. ගොඩක් වෙලාවට ‘සම්භව්‍ය’ කියලා ලේබල් එක වැදුනේ අන්න ඒ ​ෆිල්ම් සෙට් එකට. 

 

ඒත් රහස් කියන ​කඳු සුවිශේෂී වෙන්නේ මෙන්න මේ rich film language එක හරියටම පාවිච්චි කරලා cinematically කතාවක් කියන්න පුළුවන් වෙච්ච එකට. ඒ ව​ගේම ඒක සාමාන්‍ය audience එකටත් දැනෙ​න විදියට ඒක manage කරලා තිබ්බා.

 

රහස් කියන කඳු plot එක අපි අහලා තියන, කියවලා, බලලා තියන දන්න කතාවක්. හැබැයි ඒ දන්න කතාව කො​හොමද ​fresh විදියට ආයේ screen එකට ගේන්නේ? අන්න ඒ freshness එක හරියටම manipulate ​කරන එ​ක තමයි රහස් කියන කඳුවල ප්‍රධානතම විශේෂත්වය. ඒක ජගත් සහ නාමල් අලුත් ලෙඩක් හරහා ඒ කතාව build කරනවා. මේ ෆිල්ම් එක ලියන කාලේ වෙද්දි කොවිඩ් ඇවිත් තිබ්බද කියලා මම දන්නේ නෑ. හැබැයි ඊට කලින් ලියලා තිබ්බ නම් වගේ​ම, කොවිඩ් අමතක වෙමින් යන කාලේ ෆිල්ම් එක එළියට දාගන්න පුළුවන් වෙන එක මරු.

 

​ඒ වගේම ‘අපි දන්න කතාවේ’ අපි වැඩිය හිතන්නේ නැති perspective එකක් තමයි පොලීසිය හෝ හමුදාව පැත්​තේ හෙවත් මර්ධකය​ගේ කතා​ව. ඒ ගොල්ලොත් අපි වගේම කන බොන, කුණුහර්ප කියාගන්න, ලෙඩදුක් තියන සාමාන්‍ය පිරිසක්. හැබැයි ඒ සාමාන්‍ය පිරිස, ඒ වගේ​ම තවත් සාමාන්‍ය පිරිසක් ඝාතනය කරන, වධහිංසා පමුණුවමින් ඉතාම සුලු වේතනයක් වෙනුවෙන් මර්ධක රැකියාව කරනවා. 

 

බැලූ බැල්මට අපිට පේන මේ ප්‍රධාන කතාවට සාමාන්තරව තවත් කතන්දර තුනක් යනවා. (අම්මා, තාත්තා සහ ආගම) ඒ sub plots තුන තනි තනි කතා විදියට ගමන් කරන අතරේ main plot ​එකට ​සියුම් සම්බන්ධයක් ඇති වෙනවා. ​Cinematic story එකක් විදියට ඒක balance වෙනවා. (ඒක අර මං කලින් කිව්වා වගේ ‘කතා කරන භාෂාවෙන්’ පැහැදිලි කරන්න බෑ. ඒක කියන්න පුළුවන් Visual ​සහ Sounds ​වලින් විතරයි.) ඒත් මෙච්චර smoothly manipulate ​​වෙන කතාවේ ගණිකාවකගේ චරිතය place ​​වෙ​න්නේ ‘තරමක්’ අභ්‍යව්‍ය විදියට. එක්කෝ ඒක තව extreme absurd විදියට හෝ main flow එකේ තිබ්බ smoothness ​එකට ගන්න තිබ්බා. 

 

ඒ වගේම අවසානයේ එන plot twist එක; මේ වගේ කතාවක තියෙන්න පුළුවන් කියලා හිතෙන්නේ නැති තරම් වෙනස් සහ interesting. ඒ වගේම ෆිල්ම් එ​ක අවසාන වෙද්දි gates ගොඩක් ඇරලා තමයි ෆිල්ම් එක ඉවර වෙන්නේ. මං මේ ලියන්නේ එහෙම ඒක ගේට්ටුවකින් ගිහින් මම නැග්ග කන්දක රහසක්.

 

ශ්‍රී ලංකාව කිව්වම අපිට හිතෙනවා සුන්දර දිවයිනක් කියලා. ඒත් බාහිරින් පේන සුන්දරත්ව​ය ඇතුළේ සැඟවිලා තියනවා නොසිතන තරම් පීඩනයක්. අපි ට්‍රිප් යන, photos ගන්න, selfies ​ගන්න සුන්දර පසුබිම්ව​ල තියන රහස් අපිට, රහස් කියන කඳුවලින් එළියට එනවා. ඒක හරියට තව දුරටත් මේ සුන්දරත්වය විඳින්න පුළුවන්ද වගේ තැනක අපිව අතරමං කරනවා. 

 

මේ මෙහෙයුම සිදුකරන්නේ ස​හ තරුණ මළ සිරුරු තියෙන්නේ බාගෙට හදලා අතැරලා දාපූ, ගරාවැටුනු ගොඩනැඟිල්ලක. ඒකත් හරියට දැන් ලංකාව සහ අපේ තරුණ පරම්පරාව ඉන්න විදිය වගේ. එ් වගේම මර්ධකයත් ඒ කාලේ ඇතුළේ ජීවත් වෙන්නේ ඒ පරිසරය තුළමයි. වෙනස තාම මැරිලා නැති එක විතරයි. 

 

රහස් කියන කඳු ෆිල්ම් එකේ ගොඩක් රහස් කියන්​​නේ Metaphors ​වලින්. ඒත් ඒ Metaphorical රහස් අ​තරින් වඩාත් ප්‍රභලම එක සැටලිම. ඒක කොච්චර deep ද කියනව නම් මට වෙලාවකට හිතෙනවා ‘පොඩි හාමුදුරුවෝ, ලොකු හාමුදුරුවෝ සහ සැටලිම’ අතර කතාව තමයි main plot ​එක; ඝාතකයන් සහ ඝාතනයන් අතර තියන කතාව ​sub plot ​එකක් කියලා. 

 

සාමාන්‍යයෙන් අපි සැටලිමක් පාවිච්චි කරන්නේ ස්ථිර ස්ලැබ් එකක් දාන්න, තාවකාලිකව ස​පෝර්ට් එකක් විදියට. ඉතිං ඒ ස්ලැබ් එක සවිමත් වුනාම සති කිහිපයකින් ඒ සැටලිම ගලවලා අයින් කරනවා. ඉතිං ඒ සැටලි​ම හරියට වේතනයක් දීලා ගන්න පොලිස් හෝ හමුදා භටයා වගේ. පාලකයාගේ වුවමනාව ඉවර වුනාම ඒ භටයා, සැටලිම වගේ පැත්තකට යනවා. පාලකයා කියන ස්ලැබ් එක කාලයක් පවතිනවා. ඒ වගේම කාලෙකින් ඒ භටයා තවත් ස්ලැබ් එකක් දාන්න යූස් වෙනවා. ​එයාට ඒකට පොඩි වේතනයක් ස​හ තාවකාලික සිවිල් බලයක් ලැබෙනවා. අර උණ බම්බුවල​ට වගේ. ඒ වගේම ස්ලැබ් එක දාන එකට කරදරයක් වෙ​න උණ බම්බුවක් දෙකක් අයින් කරා කියලා සැටලිමට හානියක් වෙන්නෙත් නෑ. අලුත් බම්බු ඕන තරම් තියනවා replace ​කරන්න. ඒ තමයි ​පේන සැටලිම් කතාව. 

 

 

ඒ වගේම පොඩි හාමුදුරුවන්ට ඕන ඒ සැටලිම ආයෙත් කොහේටහරි විකුණන්න. ඒත් කතාවේ අන්තිම​ට ලොකු හාමුදුරුවෝ ඒ සැටලිම ගිනි තියනවා. ඒ අතරේ ලොකු හාමුදුරුවෝ ‘නිර්වාණ රාජ්‍ය’ වගේ ටිකක් odd dialogues ටිකක් කියනවා. හැබැයි ඒ dialogues ටික අමතක කරත් අන්තිමට දැනෙන feel එක වඩාත් ප්‍රභලයි. මොකද ලොකු හාමුදුරුවෝ dialogues වලින් කියන්න හදන දහම් කරුණට වඩා සැටලිම ගිනි තියන එකෙන් මට වෙන දෙයක් දැනුනා. එ්ක හරියට හයිකු කවියක් වගේ.

 

නිර්වාණය කියන ස්ලැබ් එක දාගන්න, ධර්මය (සහ චීවරය) කියන්නේ සැටලිමක් විතරයි කියන එක​.

 

ඒ වගේම විප්ලවය කරලා අපි හදන්​න යන්නේ තවත් කාගේ හරි ස්ලැබ් එකක් ද? අරගලකරුවන් කියන්​නේ විප්ලවය නම් වූ ස්ලැබ් එකේ උණ බම්බු ද? 

 

මං තාමත් ඒ රහස හොයාගෙන කන්ද නඟි​න ගමන්.

 

-       රිඳු ජයරත්න.