Thursday, April 30, 2020

Snowpiercer - 2013


Snowpiercer ආයෙත් බැලුවා. පැරසයිට් නිසා මේ කාලේ තරුවක් වෙලා ඉන්න බොං ජූන් හෝ, 2003 කරපු ෆිල්ම් එකක්. බොං ජූන් හෝගේ සුපුරුදු වට්ටටෝරු කතා මාලාවම වුණත් බොං ජූන් ඒක ගේනව අලුත් ෆෝම් එකක. මෙටෆර්ස් ලිහලා බැලුවම ටිකක් පරණයි වුණාට ඔහු ඒකට කරන ට්‍රීට්මන්ට් එක නිසා ඒක සුන්දර තැනක තියනවා. 

ඔහුගේ් අලුත්ම ෆිල්ම් එක පැරසයිට්, කතා කරන තරම් ‘වාව්‘ එකක් නොවුණත් සිනමා භාෂාව සහ අඛ්‍යාණික හැසිරවීම් පැත්තෙන් ඒක විශිෂ්ට කෘතියක්. ෆෝම් එක්ක විදියට අධ්‍යනය කරන්න පුළුවන් වැඩක්. ස්මූත්ලි ප්ලොට් ට්විස්ට් ගන්නේ කොහොමද කියන එකටත් හොඳ උදාහරණයක් පැරසයිට්. හැබැයි අද මාතෘකාව පැරසයිට් නෙවේ. 

අද මාතෘකාව Snowpiercer. ඒ කාරණා දෙකක් උඩ. 

එක. අපි මේ මොහොත වෙද්දී මුහුණ දීලා ඉන්න කොවිඩ්-19 වයිරස් ප්‍රශ්ණය. අපි හැමෝම ඉන්නේ වසංගත වටපිටාවක. බයෙන්. ඇතුළක හිර වෙලා. මතුපිට අර්ථයෙන් අපිත් ඉන්නේ Snowpiercer කතාව වගේ එකක. 

දෙක. Snowpiercer ආකෘතිමය අතින් තරමක් වෙනස් එකක්. මට සාපේකෂව බොං ජූන් හෝගේ ක්ලයිමැක්ස් එක තියෙන්නේ Snowpiercer ගාව. මොකද බොන් ජූන් කියන්න ඕනි ඔක්කොම දේවල් ඒකේ කියලා ඉවර කරනවා. ඊට පස්සේ කරන හැම වැඩකම තියෙන්නේ පශ්චාත් සිනමා ප්‍රලාප. 

Snowpiercer බැලූ බැල්මටම තියෙන්නේ වට්ටෝරු පන්ති අරගලය ගැන කතාවක්. ඒත් ඒක ඩීකන්ස්ට්‍රක්ශන් කරාම අපට හම්බ වෙන්නේ ඊට වඩා ගැඹුරට යන පැවැත්ම ගැන යම් විසංවාදයක්. 

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා පිළියමක් විදියට හොයා ගන්නා CW-7 කියන සිසිලනකාරක රසායනික ද්‍රව්‍ය මඟින් පෘථිවියම අධික සීතලකරණයකට ලක්වෙලා අයිස්වලින් වැහිලා ගිහින්. ජීවීන් සියල්ල විනාශ වෙලා. ඒත් එක්තරා පිරිසක් වේගයෙන් යන දුම්රියක ඇතුළේ ජීවිතය ගැටගහ ගන්නවා. ඔවුන් අවුරුදු 17 කට පස්සේ ඔවුන්ගේ පැවැත්මේ යහපත් වෙනසක් වෙනුවෙන් දුම්රිය පාලක පන්තිය සමඟ ඇතිකරගැනීමට නියමිත අරගලයක් සමඟ Snowpiercer පටන් ගන්නවා. 

අපි මේ මොහොතේ මුහුණ දෙමින් සිටින කොවිඩ්-19 වසංගතය නිසා අපි හැමෝගෙම තිබ්බ සුඛෝපභෝගී, විනෝදකාමී ජීවිතය අගුලු වැටිලා. එදා වේල හම්බකරන් කාපූ ගොඩක් දෙනෙක් ආර්ථික වශයෙන් දරුණු ලෙස අර්බුධයකට පත් වෙලා. ඔවුන්ට කන්න බොන්න දෙයක් හොයා ගැනීමට පවා අසීරු තත්වයක් ඇති වෙලා. රජය යම් යම් ඊනියා සහන ව්‍යාපෘති සිදු කිරීමට වෙර දැරුවත් එය තරමක් ව්‍යාකූල තත්වයකයි පවතින්නේ. ළඟ එන මහ මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් ඒ මතින් ගොඩ ඒමට ලෑස්ති වෙනවා. මේ දුෂ්කරතාවයට පත් වෙලා ඉන්න ජනතාව වගේ පිරිසක් Snowpiercer දුම්රියේ අග කොටසේ ජීවත් වෙනවා. 

අපේ ජනතාවටත් (අපිටත්) රජය ලබා දෙන දේ කාලා, ඔවුන්ගේ බණ අහගෙන, ඔවුන්ගේ විධිවිධාන අනුව ජීවත් වෙන්න වෙලා. හැබැයි ඔවුන් (අපි) පෙලෙන මේ පීඩන තත්වය පිපිරීමක් දක්වා හුවමාරු වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ. කොවිඩ්-19 ආසාධනය වුණොත් මිය යෑමට තියන සම්භාවිතාවයට වඩා, බඩගින්නේ හිටියම නිශ්චිතවම මිය යන නිසා ඔවුන් කුසගින්නට එරෙහිව කොරෝනා තෝරා ගැනීමට නියමිතයි. රජයක් විදියට අර්බුධය ඩබල් වෙන්නේ එතකොට. 

Snowpiercer අර්බුධය පටන් ගන්නෙත් කෑම සහ ඒකාකාරීත්වය නිසා. Snowpiercer පාලනය ඒකකය තුළින් මවා පෙන්නන වට පිටාව, මේ හැම දෙයක්ම කරන්නේ ඔබ වෙනුවෙන් කියන එක ඔවුන් අවුරුදු 17 ක් තිස්සේම කරනවා. නමුත් වසර 17 ක ඒකාකාරීත්වය එක් දිනක පිපිරී යනවා. නමුත් ඔවුන් තෝරගැනීමට නියමිත වෙනසත් (ඇකඩමික් විදියට ‘නිර්ධන පංති විප්ලය‘) ඔවුන්ට තාවකාලික යහපතක් උදාකර දෙන අතර එය කලකින්, නැවතත් පෙර තිබූ පාලක පන්තියේ කුරිරු හැඩවුරුව ගැනීමට නියමිත බව සිනමා පටය ඉඟි කරනවා. 

ඉතිං සමාජයක් විදියට අපිට සිද්ද වෙනවා, පන්තියෙන් පන්තියට වෙනස් වන බල අරගලය වෙනුවට වඩා යහපත් රැඩිකල් වෙනසක් යෝජනා කිරීමට. Snowpiercer එකේ කෝච්චිය විනාශ කරන් එළියට යනවා වගේ වැඩක්. එය ධනවාදයටත් සමාජවාදයටත් එහා ගිය දියුණු මිනිස්-සොබා නිදහසක් වෙනුවෙන් සිදුවීමට නියමිත අරගලයක් විය යුතුයි. කොවිඩ්-19 අපිට මේ කියන්නේ ඒ දියුණු මිනිස්-සොබා නිදහස වෙනුවෙන් සූදානම් වෙන්න කියන එකද?

-තරිඳු ජයරත්න


#Snowpiercer #BongJoonHo #ChrisEvans #SLReview #sinhalacinema #sinhalavichara #sinhalareview #tharinduJayarathna



Sunday, April 5, 2020

Human, Space, Time and Human - 2018


ලෝකාවසානය වගේ අපි හැමෝම භීතියෙන් වෙලිලා. කවුරුත් වගේ ගෙදරට කොටු වෙලා. එළියට යන්නේ මාස්ක් දාගෙන. ගම් පිටින් නීරෝධායනය කරනවා. මූවීස්වල දැකපු දේවල් අපේ ජීවිත කාලේ අපිට උදාවෙයි කියලා අපි කවුරුත් හිතුවේ නෑ. නොහිතන දේවල්ම සිද්ද වෙන ජීවිතේ එහෙම දෙයක් වෙන එක, එකඅතකින් පුදුමෙකුත් නෙවෙයි. ආයේ මිනිස්කම්වලට අර්ත හොයන ගමන්, සොබාදහමට ඕන විදියට ඉන්න ඉඩදීලා අපි පැත්තකට වෙලා. වේගවත් මිනිස් ක්‍රියාකාරකම් දැන් අඩුවෙලා. ලෝකය ආයෙත් එක්තරා තැනක ඉඳන් පටන් ගනීවි තව ටික කාලයකින්. ඒ තැන ගැන හරියටම කියන්න බැරිවුණත් මොකක් හෝ අලුත් ඇරඹුමක් වෙයි.

මේ දවස්වල අපි හැමෝම වගේ "අපි මොකක්ද මේ කරන්නෙ?" කියල හිතන්න පටන් අරං. නැත්නම් හිතෙන්න පටන් අරං. ගමන වෙනුවට නැවතීම ආවම ජිවීතේ කියන දේ ගැන හිතන්න හැමෝටම වගේ වෙලාවක් හම්බුනා. හැමෝගෙම ජීවිත අවිනිශ්චිතත් නිසා, ප්‍රශ්නය හැමෝගෙම වුනා. 

ලෝකයක අවසානය සහ ලෝකයක ඇරඹුම පෙන්නන සිනමාගාර පරීක්ෂනයක් විදියට කිම් කී දුක් 2018 දී HUMAN, SPACE, TIME & HUMAN කරනවා. "දෙයක්" ජීවියෙක් කරන්නේ "ආශාව". ජීවීන් ජීවත් කරවන්නේ මේ ආශාවන්. ඉතිං මේ ආශාව වෙනුවෙන් අපි යන ගමන ටිකක් සීමා කරා මේ කොරෝනා. ෆිල්ම් එකේ නම් ජීවීන් පිරුනු මුහුදේ ගියපු නැව නොදන්න අවකාශයක හිරවුනා. අපි වගේම. ආශාවන් වෙනුවෙන් ලුහුබැඳ ගිය බහුතරය නැති වුනා. ඒත් එක බලාපොරොත්තුවකින් ආයේ ලෝකයක් පටන් ගත්තා. ඒ ලෝකයත් ආයේ 'ආශාව' පස්සේ දුවන්න පටන් ගත්තා. ඒ වගේම අපිත් ඉක්මණින්ම දුවන්න පටන් ගනීවි. කොරෝනා කර දේ අමතක වේවී. ආශාව හැමෝගෙම හිත්වල අලුත් බලාපොරොත්තුවක් ගෙන දේවි.